වැව් 1,500ක් ප්‍රතිසංස්කරණය කෙරේ

  👤  3958 readers have read this article !
By mawbima 2018-05-21

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

මේ වසරේදී රුපියල් මිලියන 1,000ක වියදමින් කැඩීබිඳී ගිය වැව් 1,500ක් ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ කැඩීබිඳී ගොස් අතහැර දමන ලද වැව් 1,500ක රොන්මඩ ඉවත් කිරීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ කටයුතු 2018 වර්ෂය තුළදී සිදු කිරීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකාවේ වියළි කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක නිසි නඩත්තුවක් නොමැතිකම නිසා කැඩීබිඳී ගොස් අතහැර දමන ලද වැව් 2,055ක් සහ අමුණු 1,578ක් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කර ඇත.

අප රටේ මේ වන විට බොහෝ කන්නවල විධිමත් පරිදි වර්ෂාපතනය නොලැබෙන බැවින් වර්ෂාව ලැබෙන විට එම ජලය ගබඩා කර තබාගැනීම මඟින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාදීම සඳහා 2018, 2019 වසර දෙක තුළ කැඩීබිඳී ගිය සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාතය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

එමෙන්ම අප රටේ වැව් විශාල ප්‍රමාණයක් මේ වන විට ජපන් ජබර, සැල්වීනියා වැනි ආක්‍රමණශීලී ජලජ පැළෑටිවලින් වැසී ගොස් තිබෙන නිසා එම වැව්වල නිසි පරිදි ජල ධාරිතාව රඳවා ගැනීමට අපහසු වී ඇති බැවින් වැව්වල එවැනි ජලජ පැළෑටි ඉවත් කිරීමට සුදුසු යන්ත්‍ර (Weed Harvesting Machine) 10ක් මිලදී ගන්නා ලෙසත් එම යන්ත්‍ර අවම වශයෙන් එක් පළාතකට එකක් බැගින් මුල් අවස්ථාවේදී ලබාදිය යුතු බවත් එමගින් වැව් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පියවර ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon