ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

  👤  4083 readers have read this article !
By mawbima 2018-05-21

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩ වැඩපිළිවෙළක් ලෙස කඩිනමින් ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අදාළ අංශවලට උපදෙස් දෙයි.

අප අත්දකින දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම සඳහා වැව් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය වඩා ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති හමුවකදීය.

මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස හදිසියේම එම අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්‍ෂණය කර අනතුරුව එම ශ්‍රවණාගාරයේදී ජේ‍යෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකටද එක්විය.

මහවැලි ජනපදිකයන් දිගු කලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ඔවුන්ට ඉඩම් ඔප්පු ලක්‍ෂයක් බෙදා දීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ කඩිනමින් නිම කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතුද අධීක්‍ෂණය කරනු ලැබීය.

අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල ප්‍රගතිය සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳවද නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

ඛනිජ ද්‍රව්‍ය නිස්සාරණ ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ මේ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියට, මහවැලි අධිකාරියට මෙන්ම භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයටද සමාන වගකීම් පැවැරී ඇති බවයි.

අදාළ ක්‍රියාවලිය සඳහා බලපත් නිකුත් කිරීමේදී ආයතන තුනේම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම කටයුතු සිදුකරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ කොන්දේසිවලට යටත්ව කටයුතු කරන බවට සහතික වීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීමටත්, මෙම කටයුතු පිළිබඳ අදාළ ආයතන මසකට වරක් රැස්වී සාකච්ඡා කරමින් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

එමෙන්ම දිස්ත්‍රික් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති පරිසර නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මුදාහැරීමටද ජනාධිපති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් දුන්නේය.

මේ වනවිට පරිසර නිලධාරි තනතුරු 89ක් පමණ පුරප්පාඩු පවතින බව මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ සඳහා උපාධිධාරීන්ද බඳවා ගනිමින් අදාළ පුරප්පාඩු කඩිනමින් පිරවීමටද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්‍ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon