යුද ජයග්‍රහණයට කැපවූ රණවිරුවන්වත් යුද්ධයෙන් විපතට පත් ජනතාවත් අප සිහිපත් කළ යුතුයි

  👤  4211 readers have read this article !
By mawbima 2018-05-21

ඊළඟ දශකය තුළ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු මීට වඩා දියුණු කරමින් එහි වැඩි ප්‍රතිශතයක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා (18දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය 2018 සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

'මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කටයුතු සිදුකරන සමාගම් නියෝජිතයන් හමුවීමට මෙන්ම එහි ප්‍රගතිය සොයා බැලීමට මෑතකදී මට අවස්ථාව ලැබුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම පිළිබඳ මා ඉතා ආඩම්බර වෙනවා. ඒ වගේම දෙවැනි අදියරේ වැඩකටයුතු කලට වේලාවට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

වසර ගණනාවක් විදේශීය ඉදිකිරීම් සමාගම් සමඟ සම්බන්ධ වී ක්‍රියා කළ නිසා ලංකාවේ අපට මේ කටයුතු සිදුකිරීමට ශක්තිය මෙන්ම හැකියාව තිබෙනවා. මේ දියුණුව ඉදිරියට ගෙන යෑම සඳහා පහසුකම් සැලසිය යුතුයි. ආර්ථික දියුණුවත් සමඟ අධිවේගී මාර්ග පමණක් නොව විවිධ ක්‍ෂේත්‍රවල ඉදිකිරීම් සිදු කෙරෙනවා. මේ නිසා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වර්ධනයක් සිදු වෙනවා. ඊළඟ දශකය තුළ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු මීට වඩා දියුණු කරමින් එහි වැඩි ප්‍රගතියක්, ප්‍රතිශතයක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලබා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශය දිරි ගැන්වීමට අපි ක්‍රියා කරනවා.

මෙහිදී අපේ අවධානය තවත් ක්‍ෂේත්‍රයක් වෙත යොමු වෙනවා. ඒ නිවාස ඉදිකිරීම් සම්බන්ධවයි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා තම පියා ආරම්භ කළ ග්‍රාමීය නිවාස වැඩසටහන මේ වනවිට ඉදිරියට ගෙන යමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව ගමට පමණක් සීමා වී නැහැ. ගමෙන් තව ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා අපි ග්‍රාමීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. නමුත් යුද්ධය නිසා විනාශ වූ ප්‍රදේශ තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාවගේ ඉල්ලීම් ද තිබෙනවා. නාගරීකරණය මෙන්ම අර්ධ නාගරීකරණයද ශීඝ්‍රයෙන් සිදුවෙනවා. ඒ නිසා අවට ඉඩම් කුඩා කැබැලිවලට වෙන් වෙනවා. එය අපට ගැටලුවක්.

කෙසේ හෝ නාගරික ඉදිකිරීම්වලට ප්‍රමුඛත්වය ලබා දීමටත් අප ක්‍රියා කරනවා. ඒ සඳහා මහ නගරය තුළ අඩු ආදායම්ලාභීන් යළි පදිංචි කිරීමේ වැඩසටහන වේගවත් කර ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ක්‍රියා කරනවා. ඒ යටතේ විශාල සංඛ්‍යාවකට නිවාස ලබාදීම අපේ බලාපොරොත්තුවයි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යෑමට රජයේ මුදල්වලට අමතරව අපි ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් (ඒඒධ්ඕ) ඩොලර් මිලියන 200ක් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා අපේ ඉදිකිරීම් ආයතන සහභාගි කර ගනිමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මේ සමඟම උතුරු ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ කටයුතු අපි සිදු කරගෙන යනවා. ඒ සඳහා අපි විශාල මුදලක් ලබා දුන්නා. එහි සමහර ස්ථානවල යම් ප්‍රමාදයන් සිදුවී තිබෙනවා. මේ වනවිට අපි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොටසකට මුදල් ලබාදී තිබෙනවා. ඉදිරියේදී ඉතිරි කොටසටද ඉක්මනින් මුදල් ලබාදීමට කටයුතු කරනවා. යුද්ධය නිමාවී මේ වන විට වසර 10ක් ගතවී තිබෙනවා. එහිදී නිවාස අහිමිවූවන්ට මේ යටතේ නිවාස ලබාදීම අපේ බලාපොරොත්තුවයි.

ඊළඟ පියවර වන්නේ වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමයි. වතුකරයේ සේවය කරන ජනතාවට ඉඩම් නැහැ. නිවාසද නැහැ. අපි ඔවුන්ගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ඉන්දීය අගමැති මෝඩි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ වතුකරයේ ජනතාවට නිවාස සහ ඉඩම් වෙනුවෙන් මුදල් ලබාදීමට එකඟතාව පළ කළා. දැන් එම වැඩකටයුතු ආරම්භ කිරීමට තිබෙනවා. වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කර ඉඩම් ලබා ගැනීමටත්, එසේ ඉඩම් නොලැබෙන ප්‍රදේශවලට රජයෙන් ඉඩම් ලබාදීමටත් දැන් ක්‍රියා කරගෙන යනවා.
ඒ සමඟම නැවත මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ණය ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළා. දැන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මෙම ණය මුදල් ලබාදීමට ක්‍රියා කරනවා.

දැනට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් එහි කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා. මේ ආකාරයට ග්‍රාමීය පමණක් නොව විශාල නාගරික වැඩසහන් මඟින් නාගරික ජනතාවට නිවාස ලබාදීමටත්, වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමටත් අපි ක්‍රියා කරනවා. ඒ තුළින් රටේ නිවාස ප්‍රශ්නය විසඳීමටත්, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය දියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම අද කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලීමක් වන්නේ මිනිස් බලයයි. අපේ රටේ තරුණ තරුණියන් තුළින් ඒ ප්‍රශ්නය විසඳීමටත් අපි අපේක්‍ෂා කරනවා.

අද ඉතා වැදගත් දිනයක් බව මෙහිදී මා මතක් කළ යුතුයි. ත්‍රස්තවාදය පරාජය කර යුද්ධය අවසන් කර සාමය ළඟා කර ගැනීමට කැපවූ සියලු රණවිරුවන් අප සිහිපත් කරනවා. ඒ වගේම යුද්ධය නිසා ජීවිත අහිමිවූ අහිංසක ජනතාවද මේ අවස්ථාවේ සිහිපත් කරනවා.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon