ETI තැන්පත්කරුවන්ට සුබ ආරංචියක්

  👤  4272 readers have read this article !
By mawbima 2018-05-21

උපතිස්ස පෙරේරා

ඊ.ටී.අයි. තැන්පතු වගකීම්වලින් සියයට 10ක මුදලක් (රුපියල් දසලක්‍ෂ තුන්දහස් තුන්සිය පනහක්) හා තැන්පතුකරුවන්ට 2018 මැයි මාසය අවසානය දක්වා ගෙවිය යුතු පොලී මුදල් ආසන්න වශයෙන් රුපියල් දස ලක්‍ෂ 1,400ක් තැන්පතුකරුවන්ට ගෙවීම ලබන ජුනි මස 05 වැනි දින එම ආයතනය විසින් ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර එම ආයතනය විසින් තැන්පතුකරුවන් වෙත කඩිනමින් දැනුම් දෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් මුහුණදී ඇති මූල්‍ය දුෂ්කරතා සහ ඉන් මූල්‍ය පද්ධතියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව සලකා බලන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම ආයතනය සතු පරිපාලන සහ උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපළ ඇමෙරිකන් ඩොලර් දස ලක්‍ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඒ අනුව අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු ඇමෙරිකන් ඩොලර් දසලක්‍ෂ 75ක මුදලින් ඩොලර් දස ලක්‍ෂ 32ක මුදලක් එනම් රුපියල් දස ලක්‍ෂ 5,017.6ක් ඊ.ටී.අයි. ආයතනය වෙත ලැබී ඇතැයි නිවේදනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එම මුදලින් ඊ.ටී.අයි. ආයතනයේ මුළු තැන්පත් වගකීම්වලින් සියයට 10ක මුදලක් (රුපියල් දසලක්‍ෂ 3,350ක පමණ මුදලක්) සහ 2018 මැයි මාසය අවසන් වනවිට ගෙවිය යුතු පොලී මුදල් ආසන්න වශයෙන් රුපියල් දසලක්‍ෂ 1,400ක් පමණ තැන්පතුකරුවන් වෙත ගෙවීමට උපදෙස් දී ඇතැයිද සඳහන් කරයි.

ඒ අනුව මෙම ගෙවීම් ලබන ජුනි මස 05 වැනි දින ආරම්භ කරනු ඇති බවත් එම ආයතනයේ තැන්පතු වගකීම්වලින් තවත් සියයට 10ක මුදලක් ඉහත කී වත්කම් විකිණීමෙන් ලැබෙන ඉතිරි මුදලින් (ඩොලර් දසලක්‍ෂ 43) ගෙවන ලෙසද ඊ.ටී.අයි. ආයතනයට උපදෙස්දී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසීය.

පසුගිය මාස හතරක පමණ කාලය තුළ මේ සඳහා සහයෝගය ලබාදුන් සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පළ කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරී සැලැස්මේ කටයුතු අවසන් වනතෙක් සහ ගෙවීම් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්
කරන ලද කළමනාකරණ මණ්ඩලයට ඉවසිලිමත්ව සහාය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon