වර්ජනය කැන්සල් බස් ගාස්තු 12.5%කින් ඉහළට අවම ගාස්තුව රුපියල් 12යි

  👤  3699 readers have read this article !
By mawbima 2018-05-17

උපතිස්ස පෙරේරා

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ඊයේ (16දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට යෝජිතව තිබූ වැඩ වර්ජනය ඊයේ (16දා) සවස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවීමට තීරණය කළේය.

දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේදී බස් ගාස්තු අනිසි ලෙස ඉහළ දැමීම සාධාරණ නොවන බවත් බස් කර්මාන්තකරුවන්ගේ වෘත්තිය ඉදිරියටත් කරගෙන යා හැකි පරිදි අවම බස් ගාස්තුව රුපියල් 12ක්ද ඉන් ඔබ්බට බස් ගාස්තු 12.5%කින් ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බස් රථ සංගම්වලට දුන් ප්‍රතිඥාව අනුව යෝජිත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ සම්මේලනයේ ජේ‍යෂ්ඨ උප සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා "මව්බිම"ට පැවැසීය.

බස් රථ හිමියන්ගේ සංගම් හා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ඕනෑම වෘත්තීය සංගමයක සාධාරණ ඉල්ලීම්වලට තමන් සවන් දෙන බවත් ජනතාව පීඩාවට පත් කරන අයුරින් කරන ඉල්ලීම් පිළිබඳව රජයක් වශයෙන් දෙවරක් සිතා බැලිය යුතු නිසා මෙම සහනය පෞද්ගලික බස් සංගම්වලට ලබාදුන් බවත්ය.

ජනතාව දුෂ්කරතාවට ඇද නොදමා හැකි ආකාරයකින් තමන් සමඟ සාකච්ඡා කර තීන්දු තීරණවලට එළැඹෙන ලෙසද බස් රථ සංගම්වලට අවවාද කළ අමාත්‍යවරයා දුම්රිය සහ ශ්‍රී ලංගම ඇතුළු පොදු බස් රථ සේවා ආදායම් උපයන චේතනාවෙන් කටයුතු නොකරන බව සලකා මහජන සේවාවක් වශයෙන් එම සේවා පවත්වාගෙන යා යුතු බවත් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව රජය හැමවිටම අවධානයෙන් සිටින බවත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon