තෙල් මිල ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

  👤  3699 readers have read this article !
By mawbima 2018-05-17

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

"යහපාලන ආණ්ඩුව ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ දැමීම නිසා ප්‍රවාහන ගාස්තු මෙන්ම භාණ්ඩ හා සේවා ගාස්තුද වැඩිවීමට පටන්ගෙන ඇති බවත් තම ආණ්ඩුව පැවැති සමයේ තිබූ තෙල් මිලට වඩා... වර්තමානයේ ලෝක තෙල් මිල බෙහෙවින් අඩු නිසා යහපාලන ආණ්ඩුවට තෙල් මිල අඩු කිරීමට හැකියාව ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ජනතාවට පොරොන්දු වූ සහන ලබාදීමට මුදල් සොයා ගැනීමට සිදුවීම නිසා ආණ්ඩුව තෙල් මිල අඩු කරාවිද යන්න පිළිබඳව ඇත්තේ සැක සහිත තත්ත්වයක් බවද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව පවසන්නේ තම ආණ්ඩුව පැවැති සමයේදී දේශීය ඉන්ධන මිල මීට වඩා ඉහළ මට්ටමක පැවැති බව යැයිද බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේ වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවට යැයිද මෙම නිවේදනය මඟින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

"ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය" යන මැයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

"අද බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 70ක් පමණ වේ. මම 2005 නොවැම්බරයේදී මුල් වරට ජනාධිපති ධුරයට පත්වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73ක් විය. 2008 ජුනි වන විට එය ඇ.ඩො. 160 දක්වා වැඩිවී තිබිණි. 2014 අගෝස්තු වන විටත් තෙල් මිල පැවැතියේ ඇ.ඩො. 103ක මට්ටමකය. තෙල් මිල සැලකිය යුතු ලෙස අඩු වීමට පටන් ගත්තේ 2014 අවසාන මාස තුනේදී පමණි. 2015 ජනවාරියේදී ආණ්ඩු වෙනස සිදුවන විට එය ඇ.ඩො. 51 දක්වා අඩුවී තිබිණි.

එතැන් සිට පසුගිය අවුරුදු තුන මුළුල්ලේම ලෝක තෙල් මිල අඩු මට්ටමක පැවැතියේය. 2016 පෙබරවාරි මස වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 33 දක්වා අඩුවී තිබිණි. ඉන්පසු තෙල් මිල සෙමින් වැඩි වුවද 2017 ඔක්තෝබර් මස වනතුරුත් එය ඇ.ඩො. 55ක මට්ටමක පැවැතියේය.

අද පවතින ඇ.ඩො. 70 මිල දක්වා එය වැඩිවීමට පටන් ගත්තේ පසුගිය මාස කිහිපයේදී පමණි. මා රට පාලනය කළ සම්පූර්ණ අවුරුදු 09 තුළම කිසිදාක ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත මට්ටමක නොතිබිණි. අපේ ආණ්ඩුව කාලයේ පැවැති සාමාන්‍ය තෙල් මිලට සාපේක්ෂව අද පවතින ඇ.ඩො. 70ක මිල සැබවින්ම අඩුය. මගේ පාලන සමය තුළදී ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සනිටුහන් වුවද අප ඒ අවුරුදු කිහිපය ඇතුළත ජයගත නොහැකි යැයි කී යුද්ධය ජය ගත්තා පමණක් නොව, යටත් විජිත යුගයෙන් පසු මේ රටේ ඉදිවූ විශාලම යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම සම්පූර්ණ කිරීමටද හැකිවූ බව මෙහිදී පෙන්වා දිය යුතුය.

මගේ පාලන සමයේදී මෙන් නොව යහපාලන ආණ්ඩුවට පසුගිය අවුරුදු තුන තුළදී ලෝක තෙල් මිල ඉතාම පහත් මට්ටමකට වැටීමේ වාසිය ලැබිණි. ඒ අවුරුදු තුන ඇතුළත ආණ්ඩුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක ඉතිරියක් විය. එවැනි විදෙස් විනිමය ඉතිරියක් තිබියදීත්, ආර්ථිකය දිගින් දිගටම පිරිහීමකට ලක් වූ අතර ඒ කාල පරිච්ඡේදය තුළ සංවර්ධන වැඩකටයුතු සහමුලින්ම පාහේ බිඳ වැටිණි.

යහපාලකයෝ එදා පවසා සිටියේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණය නැවැත්වූ පසු ඒ සියලුම සහන දීමට ඕනෑ තරම් මුදල් ඉතුරු වන බවය. ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු නොබෝ කලකින්ම එළැඹි පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නම් ඔවුන් ඒ දුන් පොරොන්දු ඉටු කිරීමට සිදුවිය. අපි දැන් අත්විඳිමින් සිටින්නේ දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිත කිරීමේ ආනිශංසවලටය. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට ඡන්ද ජය ගැනීම සඳහා ඕනෑම සහනයක් දීමට හැකියාව ඇත. නමුත් පියවි සිහිය තිබෙන ආණ්ඩු මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්නේ දිනුවාට පසු ඒ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයා ගැනීම අසීරු වන නිසාය.

වත්මන් ආණ්ඩුව සිතුවේ ඡන්දය ජය ගැනීම ගැන පමණක් මිස, ඊට පසුව සිදුවන්නේ කුමක්ද යන්න ගැන නොවේ. ඡන්ද ජය ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබූ පසු ඒ වැඩි වූ වියදම් පියවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ විරූ ආකාරයට ණය ගැනීමට පටන් ගත්තේය.

2015 ජනවාරියේ සිට අද දක්වා මේ ආණ්ඩුව වාණිජ ණය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 19.5ක් හා දේශීය ණය රුපියල් ටි්‍රලියන 6කට වඩා ලබාගෙන ඇත. අගමැතිවරයා සභාවක් අමතන හැම අවස්ථාවකදීම වර්තමාන ආර්ථික තත්ත්වය පසුගිය ආණ්ඩුවෙන් ලබාගත් ව්‍යාපෘති ණය නිසා ඇතිවූවක් යැයි කීවද මේ තත්ත්වය ඇතිවීමට සැබෑ හේතුව වත්මන් ආණ්ඩුව මාස කිහිපයක් නැතිනම් අවුරුද්දකින්, දෙකකින් ආපසු ගෙවීමට සිදු වෙන ආකාරයට ලබාගත් කෙටි කාලීන හා මධ්‍ය කාලීන පරිභෝජන ණය නිසාය.

මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2019 වසර තුළදී අපට ආපසු ගෙවීමට සිදුවන විදෙස් විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 4.2ක් වේ. එය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර තුනත්, හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු සම්පූර්ණ වරායත්, ගොඩගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයත්, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපළත්, ඉදිකිරීමට ගිය මුළු මුදලටත් වඩා විශාල මුදල් කන්දරාවකි. මේ සියලුම ව්‍යාපෘතිවල මිලට වඩා මුදලක් එක අවුරුද්දක් ඇතුළත ණය වාරික වශයෙන් ගෙවීමට සිදුවී තිබීමෙන් යහපාලන ආණ්ඩුව විසින් ඇතිකර තිබෙන ණය අර්බුදයේ පරිමාව කාටත් සිතාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon