පොළොන්නරුවෙන් මතු වූ අළු බඳුන රජකුගේද?

  👤  3913 readers have read this article !
By mawbima 2018-05-17

පොළොන්නරුව- විපුල් ප්‍රියන්ත,පොළොන්නරුව- බණ්ඩාර මුදියන්සේ

පොළොන්නරුව-මඩකළපුව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පොළොන්නරුව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකරනු ලබන පුරාවිද්‍යා කැණීම්වලදී ඉපැරැණි පිළිමගෙයක් තුළ තැන්පත් කර තිබූ ආදාහනය කරන ලද දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක් ඊයේ (16දා) හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පොළොන්නරු යුගයට අයත් විහාර ආරාම සංකීර්ණයක් බවට විශ්වාස කෙරෙන මෙම පුරාවිද්‍යා බිමේ පසුගිය දිනවලදී කරන ලද කැණීම්වලින් බුදුපිළිම, බෝසත් පිළිම, සඳකඩපහණ, ඉපැරැණි පිළිමගෙයක අවශේෂ ඇතුළු පුරාවිද්‍යා ස්මාරක රැසක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් මතු කර ගනු ලැබිණි.

එම ඉපැරැණි පිළිම ගෙය තුළ තැන්පත් කර තිබී ඊයේ (16දා) හමුවූ මැටි මුට්ටිය සෙන්ටිමීටර් 14ක් උස බවත් මුට්ටියේ කට සෙන්ටිමීටර් 11ක විෂ්කම්භයකින් යුත් බවත් 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් භාරව කටයුතු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් කැණීම් නිලධාරි ඒ.ඒ. විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

අස්ථි කොටස්වල අවශේෂ සහිත මෙම මැටි බඳුන පිළිම ගෙයක් තුළ තැන්පත් කිරීමෙන් එය බොහෝ දුරට වන්දනීය පුද්ගලයකුට අයත් බව විශ්වාස කළ හැකි යැයිද ඒ මහතා කීය.

ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා පර්යේෂණ තවදුරටත් සිදුකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් කටයුතු තවදුරටත් සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon