තෙල් නග්ගපුදාම කෝටියක පාඩුවක් අර්ජුන රණතුංග

  👤  3904 readers have read this article !
By mawbima 2018-05-17

දෙනගම ධම්මික රණවීර

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදු වී ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට එදින පෙරවරුවේ නිවේදනය කිරීමෙන් පසුව අදාළ වංචාව සිදු කර ඇතැයිද කියැවේ.

ඉන්ධන මිල ඉහළ දමන බවට නිවේදනය කළ අවස්ථාවේ සිට ඉන්ධන මිල ඉහළ යන අවස්ථාව දක්වා දෛනික ඇණවුම් ක්‍රමයට එදිනම ඇණවුම් කර එදිනම ඉන්ධන තොග විකිණීමේ ක්‍රමය තාවකාලිකව නතර කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ පිළිවෙතයි. අඩු මිලට ඉන්ධන මිලදී ගෙන වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීම එහි අරමුණයි.

එහෙත් පසුගිය 10 වැනිදා කොළොන්නාව නිමාවෙන් බවුසර් 52ක් සහ මුතුරාජවෙල නිමාවෙන් බවුසර් 22ක්ද වශයෙන් දෛනික ඇණවුම් මඟින් නිකුත් කිරීම නිසා එම පාඩුව සිදුවී ඇත.

මේ කරුණ තහවුරු කරමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළොන්නාව නිමාවෙන් රුපියල් 65,80,200ක්ද, මුතුරාජවෙල නිමාවෙන් රුපියල් 24,68,400ක මුදලක්ද පාඩු වී ඇති බව ප්‍රකාශ කෙළේය. ඊට අමතරව ඇතැම් ප්‍රාදේශීය ඩිපෝ ආශ්‍රිතව දෛනික ඉන්ධන නිකුත් කිරීමේදීද වංචා සිදු වී ඇති බව කීවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (16දා) ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ වංචාවට සම්බන්ධ අය හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් මේ වන විට සිදු කරමින් ඇති බව පැවැසූ රණතුංග මහතා ඉන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එෆ්.සී.අයි.ඩී.ය වෙත වාර්තා යොමු කරන බවද සිදුවූ පාඩුව වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකර ගන්නා බවද අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon