රුපියල් 1,500කින් මාසයක්ම දිවි ගැටගහගන්නා අම්මයි දුවයි ඉන්නේ නයි-පොළොංගු මැද අතු පැලකයි

  👤  3928 readers have read this article !
By mawbima 2018-05-17

කිසිදු හව්හරණක් නැතිව තම 13 හැවිරිදි දුව ආරක්ෂා කරමින් අව්වට වේළෙමින් වැස්සට බාගෙට තෙමෙමින් ජීවත් වීම සඳහා දැවැන්ත අරගලයක යෙදී සිටින තරුණ මවක් පිළිබඳ අනුවේදනීය කතා පුවතකි මේ.

ඇය නමින් කේ.ජී. සෝමාවතීය. වයස අවුරුදු 43කි. දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් දුව 13 වැනි වියේ පසුවන අතර දෙවැනියා දස හැවිරිදි පුතෙකි. පුතා දැනට මහණ දම් පුරමින් මාවනැල්ල ප්‍රදේශයේ පන්සලක වැඩ සිටින අතර දියණිය ඇය ළඟ සිට පාසල් යන්නීය.

කන්තලේ අග්බෝපුර දුම්රියපොළ අසල මාර්ගයෙන් මීටර් තුන් හාරසීයකට අෑතට වන්නට පාළුවට ගිය නයි පොළොන්ගු රජ කරතැයි සිතිය හැකි තැනෙක තනන ලද එල්ලා වැටෙන පොල් අතු, තහඩු කැබලි, ඉටිරෙදි යනාදියෙන් තනාගත් අතු පැලක මේ අම්මයි දුවයි ජීවත් වෙති. සර්පයන්ට බියෙන් පැල තුළ ලීවලින් තැනූ මැස්සක් ඇඳක් ලෙස පාවිච්චි කරන අතර ඉවුම් පිහුම්, ඇතුළු සියලුම කටයුතු කරන්නේ මේ අඩි 10×8 කාමරය තුළය. වතුර, ලයිට්, වැසිකිළි පහසුකම් කිසිවක් නොමැති අතර රාත්‍රි කාලයේ උයා පිහා ගන්නා කටයුතු කරන්නේ කුඩා සාදු විසින් දෙන ලද චාජ් කළ හැකි ටෝච් එළියකිනි. මොවුන් ගෙවන දිවි පෙවෙත ගැන රාජ්‍ය බුද්ධි අංශයේ හිතවතකුගෙන් ලද තොරතුරක් මත අපි එහි ගියෙමු. මේ එම තරුණ මව අප සමඟ පැවැසූ කතාවයි.

"මහත්තයා නැතිවෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. දැන් මහත්තයලගේ මහ ගෙදරටම ඇවිත් ඉඩම කෙළවර මේ තහඩු මඩුව අටවගෙන ජීවත් වෙනවා.

ලොකු දුවට දැන් අවුරුදු 13ක් වෙනවා. එයා මේ ළඟ අග්බෝපුර විදුහලේ 8 වසරේ ඉගෙන ගන්නවා. පුතා දැන් මහණ වෙලා මාවනැල්ල පන්සලක ඉන්නවා. මගේ අතත් කැඩිලා. බර වැඩක් කරගන්න බැහැ. සමෘද්ධියෙන් රුපියල් 1,000ක් ලැබෙනවා. ඉස්පිරිතාලේ ක්ලීනින් සර්විස් කරද්දි අත කැඩුණා. ඒ රස්සාව නැතිවුණා. දැන් මමයි දරුවයි ජීවත් වෙන්නේ රුපියල් 500ක් ලැබෙන පඩියකින්. ඒ ටවුමේ බුලත්විටි කඩේක බුලත් විටි ගහලා.

මට මොනවා වුණත් කමක් නෑ. මට දුකයි මේ දරුවා ගැන. ඉගෙන ගන්න ආසයි. ඒත් රෑකට පාඩම් කරන්න විදියක් නෑ. මොකද හැන්දෑවෙ 7 වෙනකොට අපි ගෙට වෙනවා. හරිහමන් එළියක් නෑ. හදිසියක් වුණොත් ගෙදර තියෙන එකම එළිය පොඩි හාමුදුරුවෝ දුන්න චාර්ජ් කරන ටෝච් එක. වතුර නෑ. ලයිට් නෑ. වැසිකිළි නෑ. කැලේට යන්නේ. වැස්සට ගේ තෙමෙනවා. සර්පයෝ ගේ වටේම. රෑට නිදා ගන්න කියලා ලී අටවලා හදාගත් මැස්ස තමයි ප්‍රයෝජනයට ගන්නේ. වතුර ගේන්න මීටර් 500ක් විතර අෑත තියෙන දුම්රියපොළේ ටැප් එකෙන්.

ඒ මදිවට අපේම මිනිස්සු මේ කැලෑවැදිච්ච ඉඩම් කෑල්ලෙන් අපිව එළව ගන්න රෑට රෑට ගෙදරට ගල් ගහනවා. ගේ අෑතින් එළි අරගෙන එහාට මෙහාට යනවා අපි බය කරලා එළවා ගන්න. මගේ මනුස්සයාටත් මේ ඉඩම්වල අයිතියක් උරුමයක් තියෙනවා. අපි කොහේ කියලා යන්නද?

කෙල්ලගේ සපත්තු දෙක කැඩිලා. ඒක අරං දෙන්න පුළුවන්කමක් නෑ. ඇඳුම් කෑලි 2යි තියෙන්නේ. හැමදාම වැඩත් නෑ. රුපියල් 500ක් මොනවා කරන්නද? වේලක් ඇර වේලක් කාලා හරි මේ කෙල්ලට උගන්න ගන්න ඕනේ. එයාගේ වැඩටත් සල්ලි ඕන. එයා නිසා මට කොහේවත් යන්න බෑ. දාලා යන්න කෙනෙකුත් නෑ. අපිට පාරක් අයිනක පොඩි කඩ කෑල්ලක් දාගෙන එදා වේල හොයාගන්න විදියක් හදලා දෙන්න කවුරු හරි පින්වන්ත කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්. ළමයාගේ ආරක්ෂාව නැති කරලා මට කොහේවත් යන්න හිත දෙන්නේ නෑ."

පී.ජී. අනීෂා කෞෂල්‍යා විජේරත්න දැරියගෙන් මේ ගැන යමක් කියන්නට තිබේදැයි විමසූ විට ඇය කියා සිටියේ මම නිසා අනන්ත දුක් විඳින අම්මා වෙනුවෙන් යමක් කිරීමට කවුරු හෝ මාමා කෙනකු, නැන්දා කෙනකු හෝ තමන්ට අත හිත දෙන්නට කැමැති නම් මේ අංකයට අමතන ලෙසයි. එසේම යම් ආධාරයක් කිරීමට කැමැති නම් පහත අංකවලට යොමුවන ලෙසයි.

දුරකථන අංකය 0766317229, ගිණුම් අංකය-කාන්තා රන්කැකුළු, ලංකා බැංකුව, කන්තලේ (78004228)

කන්තලේ-ඩබ්.එම්. වික්‍රමසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon