බාලිකා රැඳවුම් මධ්‍යස්ථානයේ රැකවරණය යටතේ සිටි දැරියක මියයෑම ගැන අනුරාධපුර පොලිසියෙන් පරීක්ෂණයක්

  👤  3759 readers have read this article !
By mawbima 2018-05-17

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින අනුරාධපුර අවන්ති දේවි බාලිකා රැඳවුම් මධ්‍යස්ථානයේ රැකවරණය යටතේ සිටි කුඩා දැරියක් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරීක්ෂණයක් ඊයේ (16දා) ආරම්භ කළේය.

අධිකරණ නියෝග මත රැඳවුම් භාරයේ සිටි අවුරුදු එකයි මාස හයක් වයසැති දැරිය හදිසියේ රෝගාතුරවීම නිසා පෙරේදා (15දා) ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් පොලිසිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට දැන්වීමෙන් අනතුරුව පරීක්ෂණය ආරම්භ වී තිබේ.

මෙසේ මරණයට පත් වී ඇත්තේ වවුනියාව පොලිස් වසමේ බෝගහවැව පදිංචිව සිටි ටෙක්ලා දිල්හානි ගලප්පත්ති දැරියයි. මියගිය දැරියගේ මව මානසික ආබාධයකින් හා පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී ඇය ප්‍රසූත කිරීමට පෙරම ජීවිතක්ෂයට පත්වී තිබූ අතර අනතුරුව දැරිය සීසේරියන් සැත්කමකින් උපත ලබා ඇති බව පොලිසිය පැවැසුවේය.

දැරියට මවක් හෝ පියකු නොමැති නිසා ඇය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පරිවාස භාරයට පත්කිරීමට වවුනියාව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු කර තිබිණි. මාස පහකට වැඩි කාලයක් රෝහලේ හැදී වැඩුණු ළදැරිය පසුව අවන්තිදේවි රැඳවුම් නිවාසයට යොමු කර තිබිණි.

මියගිය ළදැරියගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ඊයේ (16දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon