උතුරු පළාත් සභාවේ වැඩ බැරි ලොක්කන් ජාතියට මුවා වී තනතුරු බේරා ගන්න හදනවා

  👤  4019 readers have read this article !
By mawbima 2018-05-17

''උතුරු පළාත් සභාව සංවර්ධන වැඩක් කර ගන්න බැරිව දකුණේ දේශපාලනඥයෝ වගේම ජාතිය කරපින්නාගෙන එන සැරේ තනතුරු බේරා ගන්න හදනවා'' යැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (16දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.

පෞද්ගලික බස් වර්ජනයට ආණ්ඩුව මුහුණ දෙන්නේ කෙසේද?

ප්‍රවාහන අමාත්‍යාංශයත්, බස් හිමියනුත් එකතු වී සකස් කරගත් මිල සූත්‍රය අනුව බස් ගාස්තුව 6.56%කින් වැඩි කළා. ඒ හින්දා කාටවත් විරුද්ධ වෙන්න බැහැ. පසුගිය කාල පරිච්ඡේදයෙත් එහෙම තමයි මිල වැඩි කළේ. එහෙත් වර්ජනයක් සිදු වුණොත් ඊට මුහුණ දෙන්න දුම්රියට අමතරව ලංගම බස් 1,500ක් යොදා ගන්නවා.

ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් සංගම් ප්‍රකාශ කරන්නේ වැඩිකළ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය බවයි?

එහෙම නම් ඉතින් මෙතෙක් කල් තිබුණු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනනේ.

බස් හිමියන් ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සිටිනවා?

1947 ඉඳලාම තෙල් මිල වැඩි වුණාම කිසිම ආණ්ඩුවක් එහෙම සහනාධාරයක් දීලා තියෙනවාද?

බස්වලට භූමිතෙල් සපයන පිරවුම්හල් තහනම් කරන බව ඛනිජ තෙල් අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළා?

ඒක කරන්න බැහැනේ. ලංකාවේ සී.සී.ටී.වී. කැමරාවේ සවසට පේනවාද මේක භූමිතෙල්, මේක පෙට්රල් කියලා.

ඉන්ධන මිල වැඩිවීම නිසා පාසල් වෑන්, ත්‍රිරෝද රථ ආදියෙත් ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් තියෙනවාද?

ඒ ගොල්ලන්ට වැඩි කරන්න තිබුණේ 2014 දිනේ. 2014 තිබුණු මිලටත් අඩුවෙනුයි තවම ඉන්ධන මිල තියෙන්නේ. අඩු කළ වෙලාවේ ඔය කියන අය ගාස්තු අඩු කළාද නැහැ.

මධ්‍යම අධිවේගී මාර්ගයට චීනෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබුණු බව අගමැතිවරයා කියා තිබෙනවා. එහි පොලිය කොහොමද?

පොලිය 2%ට අඩුයි.

පසුගිය ආණ්ඩුව ණය ගැනීම වත්මන් ආණ්ඩුව විවේචනය කළා. ඒත් නැවත නැවතත් මේ ආණ්ඩුව ණය ගන්නවා?

පසුගිය ආණ්ඩුව ගත්තේ වාණිජ ණය. එදා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ණය නොදීමෙන් ඒ තත්ත්වය ඇති වුණා. ඒත් දැන් එහෙම නැහැ. ඒ නිසා තමයි වැඩි පොලියට ණය ගන්න සිදු වුණේ. අපි ණය ගන්නේ නැහැ කිව්වේ නැහැ. ඇමෙරිකාවත් ඩොලර් ටි්‍රලියන 03ක ණයක් චීනෙන් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව කවදාවත් ණය නොගෙවා ඉඳලා නැහැ. ඒ නිසා ලෝකයේ ඕනෑම රටක් අපට ණය දෙනවා.

බදු ගොනු විවෘත කරන්න කියලා වෙළෙඳ දැන්වීම් දමනවා. ඒවාට වැය වන මුදල් කවුද ගෙවන්නේ?

බදු ගැන දැනුවත් කරන්නයි එහෙම කරන්නේ. ඇමෙරිකාවත් 40%ක් බදු ගෙවනවා. මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණයේදී දැන්වීම්වලට මිලියන 400ක් අයි.ටී.එන්. එකට ගෙවන්න තියෙනවා. අපි එහෙම දැන්වීම් දමන්නේ නැහැ.

කොළඹ දත් රෝහලේ ශල්‍යාගාරය හදලා අවුරුද්දක් ගියත් නිර්වින්දන වෛද්‍යවරු නුදුන් නිසා ඒක පවත්වාගෙන යන්න බැහැ කියනවා?

ලංකාව පුරාම නිර්වින්දන වෛද්‍යවරු අඩුපාඩුවක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු එකපාරට හදන්න බැහැ. ඒත් පශ්චාද් උපාධි වෛද්‍ය ආයතනයත් එක්ක සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය ගත්තා. විශේෂඥ වෛද්‍යවරු දෙගුණයක් බිහි කරනවා. ඒවායින් වෛද්‍යවරු බිහිවන විට වසර 3ක්වත් ගත වෙනවා. 2020වත් වේවි.

පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියා කරන්නත් තාම බැරිවී තිබෙනවා?

ඒකට යොදන 'අයිසොටොප්' ඉන්දියාවෙන් තමයි ගෙන්වන්නේ. එහෙම ගෙන්වන විට 80%ක් විතර විනාශ වෙනවා. ඒවා ශ්‍රී ලංකාවේ නිපදවන්න අපි ව්‍යාපෘතියක් ආරම්භ කරමින් තිබෙනවා.

සයිටම් ගැටලුව අවසන්ද?

දැන් වෛද්‍ය සංගමය එට්කා එක පස්සේ යනවනේ. විරෝධතා නැති වේවි. එට්කා ගිවිසුම අනුව වෘත්තිකයන් ගෙන්වීමෙන් මෙරට වෘත්තිකයන් නොසලකා හැරෙන බව ඔවුන් කියනවා.

ගිවිසුම අනුව වෘත්තිකයෝ ගෙන්වන්නේ නැහැ. රබර් - සහල් ගිවිසුමේ සිටම ගිවිසුම් අස්සන් කළත් මේ කාලේ වගේ ගහන ගහන ගිවිසුමට විරුද්ධ වන කාලයක් තිබුණේ නැහැ.

සරත් ෆොන්සේකා ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා තමන් ජනාධිපතිගෙන් සමාව ගත්තේ නැහැ කියලා. ඒත් පසුගිය සතියේ ඔබ එසේ ප්‍රකාශ කළා?

මම කිව්වේ කනගාටුව ප්‍රකාශ කළා කියලා. මම ඒක විස්තර කරලා දුන්නා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණාම වගකීමෙන් ප්‍රකාශ කරන්න කියලත් ඔහු කියා තිබෙනවා?

වගකීමෙන් තමයි මම ප්‍රකාශ කරන්නේ. පත්තර කියවලා නම් මිනිස්සු තීරණ ගන්නේ රාජපක්‍ෂලා වෙනුවෙන් ලියපුවා හැටියට ඔහු දිනන්න එපායැ. එහෙම වෙන්නේ නැහැ.

අපට විරුද්ධව ලියපු හැටියට හතරමායිම් නැති වෙන්න තිබුණනේ. එහෙම වෙන්නෙත් නැහැ.

මැයි 18 දෙමළ ජනතාවගේ සංහාර දිනයක් ලෙස සමරන්න ඕන කියලා උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ගැන රජයේ ස්ථාවරය කුමක්ද?

ප්‍රශ්නයක් නැහැනේ. මෙච්චර කලක් ජ.වි.පෙ.ත් විරු සැමැරුම් කරනවනේ. උතුරේ මැරුණෙත් අපේම මිනිස්සුනේ. තමිල්නාඩුවේ හරි වෙන කොහේ හරි අය නෙවෙයිනේ. මේක ඇතුළේ තිබුණේ සිවිල් යුද්ධයක්.

ඒත් එල්.ටී.ටී.ඊ.ය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන ලද සංවිධානයක්?

එතකොට ජ.වි.පෙ. මොකද්ද එදා? ඒකත් ත්‍රස්තවාදී සංවිධානයක්නේ. උතුරේ මිනිස්සු අපට ත්‍රස්තවාදී සංවිධාන වුණාට ඒ මිනිස්සුන්ට අම්මලා, තාත්තලා, දරුවෝ.

රජය රණවිරු දිනයක් ප්‍රකාශ කරලා මේ ජයග්‍රහණය සැමරුවා?

විරුවන් සමරනවයි කියලා කියන්නේ මොකක්ද? ඒ විරුවන් අතින් ඝාතනය වුණේ අපේම දරුවොනේ.

විරුවන් අතින් ඝාතනය වුණේ ත්‍රස්තවාදීන්?

ත්‍රස්තවාදීන් විතරද ඝාතනය වුණේ?

ඔබ කියනවද වෙනත් අයත් ඝාතනය වුණා කියලා?

පැහැදිලිවම. මම නෙවෙයි හැම මනුස්සයම දන්නවානේ. 88 කැරැල්ලේදී ඝාතනය වුණු ඔක්කොම ජ.වි.පෙ. ත්‍රස්තවාදීන්ද?

එල්.ටී.ටී.ඊ.ය ජාත්‍යන්තරයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් වුණා?

විජේවීර මහත්තයාගෙයි, ප්‍රභාකරන් මහත්තයාගෙයි කරපු වෙනස්කම් කියන්න මට. කරපු අපරාධවල වෙනස මට කියන්න. මේක හොඳයි අරක නරකයි කියලා කියන්න.

ශ්‍රී ලංකා හමුදාව අතින් ත්‍රස්තවාදීන්ට අමතරව තවත් අය ඝාතනය වුණා කියලා ඔබ වගකීමෙන්ද කියන්නේ?

සාමාන්‍ය වැසියකු ඝාතනය නොවූ යුද්ධයක් ලෝකයේ කොහේ හෝ වෙලා තියෙනවද?

ජාත්‍යන්තරයෙන් එන චෝදනාවට සහාය දීමක්ද ඔය කරන්නේ?

නැහැ. කිසිම සහායක් නැහැ. ජාත්‍යන්තරයට හරියට වචන කතා කළා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ කිව්වෙත් කිසිම කෙනෙක් මැරුණේ නැහැ. මැරුණේ ඔක්කොම ත්‍රස්තවාදීන් කියලා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා,

මම හිතන්නේ ඇමැතිතුමා අදහස් කළේ හමුදාව අතින් සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමක් නොවෙයි. යම් යම් අවස්ථාවල සිදුවීම් වෙන්න පුළුවන් කියන එකයි. මම එතුමාගේ ප්‍රකාශයෙන් ගත්තේ.

මියගිය කොටි නායකයන්ගේ නමින් ඒ අය පාරවල් නම් කරන්නත් යෝජනා කරලා තියෙනවාද?

ටී.එන්.ඒ. එකත් කියලා තියෙනවානේ ඒවාට ඉඩ දෙන්නේ නැහැ කියලා.

ජ.වි.පෙ. ආයුධ ගත්තේ රට බෙදන්නද? ඇයි එල්.ටී.ටී.ඊ.යට සම කරන්නේ?

1971 ජ.වි.පෙ. එක කිව්වේ උතුරේ ජනතාවට එක රටක්ද දෙකක්ද කියලා තීරණය කළ යුත්තේ දකුණේ ජනතාව නොව උතුරු නැඟෙනහිර ජනතාව කියලයි. ඒ වගේම 1985 ජ.වි.පෙ. 5 වැනි යෝජනාව වුණෙත් උතුරේ ජනතාවට වෙන් වීමේ අයිතියට රතු ධජය ඔසවා සහාය දෙනවා කියලා.

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සඳහා හාරදහසකට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටිනවාද?

ඔව්. විශාල ලැයිස්තුවක් තියෙනවා. සවස 4න් පස්සේ වැඩ කරන්න කියලා මම යෝජනා කළා සල්ලි දෙන්නම් කියලා. ළමා රෝහල් හෘද සැත්කම් කරන්න එක් අයකු වෙනුවෙන් ඩොලර් 1000ක් ගෙවන්න යෝජනා කළා. එතකොට නිර්වින්දන වෛද්‍යවරුනුත් ඒ ගාණම ඉල්ලනවා. මේ අර්බුදය තවම හදා ගන්න බැරි වුණා.

දකුණේ ළමයි අතර දරුණු රෝගයක් ව්‍යාප්ත වන බව කියනවා. මොකක්ද ඒ?

ඒක වෛරස් එකක්. එක පාරට තීන්දුවක් ගන්න බැහැ මොකක්ද කියලා. ඒකෙන් වැළැකීමට ගන්න පියවර ලෙස විශේෂඥ වෛද්‍යවරු කැස්ස තත්ත්වයක් ඇති වුණොත් ප්‍රතිකාරවලට යොමු වෙන්නේ. දරුවන් ප්‍රසිද්ධ ස්ථාන වෙත නොගෙනයන්න ආදී වශයෙන් උපදෙස් දී තිබෙනවා.

උදයංග වීරතුංග, අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ කතාබහ මේ ආණ්ඩුවේ ඉතිරි කාලයෙත් කතාවට සීමා වේද?

අපිත් ඉතින් උනන්දුවෙන් බලා ඉන්නවා ඉක්මනට මේවා ඉවර වෙයි කියලා.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූපය - කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon