ගම පොහොසත් කරන්න ලෝක බැංකුව අපට ආධාර දෙනවා

  👤  3765 readers have read this article !
By mawbima 2018-05-17

ගමේ ආර්ථිකය පොහොසත් වූ විට රටේ ආර්ථිකය පොහොසත් වෙනවා. එම නිසා ගමේ ආර්ථිකය පොහොසත් කිරීම වෙනුවෙන් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා ලෝක බැංකුව යටතේ ඩොලර් මිලියන 102 ක් ආධාර වශයෙන් ලබාදුන්නා. අද ග්‍රාමීය ආර්ථිකයේ ඇතැම් ගැටලු ඇති වී තිබෙනවා. තරුණ පිරිස කෘෂිකර්මයෙන් අෑත්වී තිබෙනවා. එවිට කෘෂි නිෂ්පාදනය පහත බසිනවා.

එම තත්ත්වය වෙනස් කරමින් ලෝක කෘෂිකර්මාන්තයේ වෙනස්වීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හරහා කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමට අපි කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී 2018.05.15 දින පැවැති කෘෂි කාර්මික නව්‍යකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ අනුමත අයැදුම්කරුවන් සමඟ ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

ලෝක බැංකුව සමඟ මෙම වැඩසටහන ඉදිරියට ගෙන යෑමට අප සැලැසුම් කර තිබෙනවා. ඇමෙරිකාව, චීනය, තායිලන්තය වැනි රටවලද කෘෂිකර්මාන්තය නවීකරණය වී තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය හරහා කෘෂි නිෂ්පාදන ඉහළ යනවා. එවිට අගය වැඩි වෙනවා. ඒ හරහා කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායමේ වටිනාකම ආරක්‍ෂා වෙනවා. නමුත් දකුණු ආසියාව තුළ මෙම තත්ත්වය තවමත් ඇති වී නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදායම ඉහළ දැමීමේ එක් වැඩසටහනක් ලෙස අප මෙම කෘෂිකර්මාන්ත නවීකරණ වැඩසටහන ආරම්භ කළා.

කෘෂිකර්මාන්ත, ධීවර ක්‍ෂේත්‍රයන්වලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. මෙම වැඩසටහන සහ බැංකුවලින් ණය දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසු අපගේ අරමුණ වන කෘෂි නිෂ්පාදනය සහ අගය වැඩි කර ගැනීම සිදු කළ හැකියි. එවිට කෘෂිකර්මාන්තයේත්, ග්‍රාමීය අංශයේත් ආදායම ඉහළ යනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නම් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. අප වැඩකටයුතු කරන්නේ එම පරමාර්ථ ඇතිවයි.

ශ්‍රී ලංකාවේ අපනයන සහ විදේශ ආයෝජන ඉහළ යෑම එහි ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩිම අපනයනයක් වාර්තා වුණේ 2017 වසරේදීයි. වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට පැමිණියේ 2017 වසරේදීයි. නමුත් අප ඉන් සෑහීමකට පත් වන්නේ නැහැ. අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. 2015 අප ආණ්ඩුව භාරගත් අවස්ථාවේ මෙතරම් විශාල වැඩ ප්‍රමාණයක් සිදු කිරීමට හැකිදැයි ඇතැම් පිරිස් විමසුවා.

ඒ වනවිට රටට ලබාගෙන තිබූ ණයවල පොලිය ගෙවීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද වන විට එම ණයත් පොලී මුදලුත් ගෙවීමට හැකියාව ලැබී තිබෙනවා. ණය කෙතරම් ප්‍රමාණයක් තිබුණත් අවශ්‍ය මුදල් යොදවමින් අප එය කළමනාකරණය කර තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුළදී මේ රටේ නිෂ්පාදන ඉහළ දමමින් ණය බර අඩු කිරීමට අපි පියවර ගන්නවා. ඉඩම් ඔප්පු නැති පිරිසට ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. එවිට අයිතියත්, ආදායමත් යන දෙකම ජනතාවට හිමි වනවා. ඒ තුළින් ගමේ ආර්ථිකය ශක්තිමත් කරගෙන අපට ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවා. පසුගිය වසරේ රටේ කෘෂිකර්මාන්තය ගංවතුර සහ නියඟය හමුවේ විශාල බලපෑමකට ලක් වුණා.

නමුත් අපේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට අපට හැකි වුණා. මේ වැඩසටහන හරහා බලාපොරොත්තු වන්නේ එම ශක්තිය තවත් වැඩිකර ගැනීමටයි.

ඉදිරි දශකය තුළ මේ හරහා විශාල වෙනසක් ඇති වෙනවා. අපනයනය හා විදේශ ආයෝජන වැඩි කිරීමෙන් පමණක් අප සෑහීමකට පත් වන්නේ නැහැ. අපේ රටේ විදේශ විනිමය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කර ගත යුතුයි. විදේශ ආයෝජන, අපනයන ආදියත් ඒ ආකාරයෙන්ම වර්ධනය කර ගත යුතුයි. මේ රටේ දුප්පත්කම තුරන් කරමින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ ඒ හරහායි. ඒ වෙනුවෙන් දයා ගමගේ ඇමැතිතුමාත්, අමාත්‍යාංශයත් සිදු කරන සේවය මම අගය කරනවා.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon