ක්‍රිකට් ආයතනයට 2017 වසරේදී මිලියන 6000කට අධික වාර්තාගත ආදායමක් ක්‍රිකට් බලධාරීහු පෙන්වා දෙති

  👤  3692 readers have read this article !
By mawbima 2018-05-17

සිරිනාම රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය ඊයේ (16දා) සවස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමුවී 2017 වසරට අදාළ විගණනය කරන ලද ගිණුම් වාර්තාව භාර දුන් අතර එහිදී ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 වසරට අදාළව ශුද්ධ ආදායම (ව්ඥබ ඪදජධථඥ) රුපියල් බිලියන 2.12ක් බවයි.

එනම් විගණකාධිපතිවරයා විසින් ද අනුමත කරන ලද මෙම විගණන වාර්තාවට අනුව පසුගිය 2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලද දළ ආදායම (ට්පධඵඵ ඪදජධථඥ) රුපියල් බිලියන 6.19ක් නොහොත් මිලියන 6,190ක් බව පැවැසූ සුමතිපාල මහතා මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම වාර්තාගත ආදායම ලැබූ වසර ලෙසද හැඳින්වීය.

තවද ක්‍රිකට් ආයතනය ලබා ඇති මූල්‍යමය ප්‍රගතිය අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31දා වන විට රුපියල් මිලියන 2,200ක පමණ ඉතිරියක් තම ආයතනය සතුව ඇති බවද ඊයේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා "මෙම වාර්තාව එළැඹෙන 31දා මහා සභාවේදී ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වන විටත් සමාජිකත්වයට ලබා දෙන්න කටයුතු කරල තිබෙනවා. 2010 වසරේ සිට ගෙවී ගිය පසුගිය වසර හයක පමණ කාලයක් සලකා බැලුවාම සමහර වසරවල ක්‍රිකට් ආයතන සේවකයන්ගේ පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. බැංකු අණකර මඟින් ආයතනය පවත්වාගෙන ගියා. අයි.සී.සී.යෙන් පවා ණය අරගන්න තත්ත්වයක් තිබුණා. ක්‍රීඩාව උසස් තලයක තිබුණු කාලයක පවා ආදායම වැටිච්ච තත්ත්වයක් තිබුණ නමුත් අපි පරිපාලනය භාර ගත්තාට පසුව විධිමත් මූල්‍ය පරිපාලනයක් හරහා අලුත් ක්‍රම මඟින් ආදායම් මාර්ග සොයා ගත් නිසා මෙවන් ඓතිහාසික ප්‍රගතියක් ලබන්නට හැකියාව ලැබුණා" යැයි පැවැසීය.

එසේම මෙවන් ප්‍රගතියක් ලබා ගැනීමට තමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේම දායකත්වය අගය කළ සුමතිපාල මහතා මූල්‍යමය වශයෙන් වැටී තිබූ ආයතනය ගොඩනැඟීමට උපක්‍රමශීලීව කටයුතු කළ ආකාරයද පැහැදිලි කරමින් "අපි යටිතලපහසුකම්වල වියදම් සීමා කළා. අත්‍යවශ්‍ය කරුණු මත පමණක් පදනම්ව ක්‍රීඩකයන්ගේ ගෙවීම් පවා පාලනය කළා. 2017දී ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට විස්සකින් වැඩි කරල නැවත 2018 වසරේදී ඔවුන්ගේ ගෙවීම් සියයට තිස් දෙකකින් පමණ වැඩි කරන්නත් තීන්දු කළා. ඒ වගේම අපේ සැලැසුම් කොටස් 6ක් යටතේ ක්‍රියාත්මක කරමින් දේශීය ක්‍රිකට් සඳහා පමණක් මිලියන 300ක් වැඩිපුර ආයෝජනය කළා. පළාත් හා පාසල් මට්ටමින් ක්‍රිකට් පුහුණුවට වැඩි සැලකිල්ලක් දක්වන අතර ජාත්‍යන්තර වශයෙන් බැලුවාම තාක්ෂණික වශයෙන් ලොව දියුණුම බුද්ධි කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවන්න කටයුතු කළා. එහි අවසාන අදියරේ කටයුතු තව සති දෙක තුනකින් නිම කරන්නත් බලාපොරොත්තු වෙනවා. එසේම නව සංවර්ධන සැලැස්ම දිස්ත්‍රික්ක හා පළාත් කේන්ද්‍ර කරගනිමින් නව ක්‍රීඩා අමාත්‍යතුමා යටතේම පවතින පළාත් සභා මඟින් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අනුව මෙය 'වන් ටීම් වන් නේෂන්' යන සංකල්පය යටතේ සාමූහික උත්සාහයකින් ලැබූ ප්‍රගතියක්" යැයිද පැවැසීය.


මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ ක්‍රිකට් ආයතනය ලබා ඇති ප්‍රගතිය ගැන තමාද සතුටු වන බවයි. තවද රටක් හැටියට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දියුණුවක් බලාපොරොත්තු වන බවද කී ඇමැතිවරයා මෙම ප්‍රගතිය ආයතනයකට පමණක් නොව ක්‍රීඩාවම ලැබූ ප්‍රගතියක් ලෙස සලකන බවත් සියලුම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් එකතු විය යුතු බවත් පැවැසීය.

ඡායාරූපය -සස්සඳ ලියනාරච්ච්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon