දහසක් ප්‍රශ්න මැද දිවිගෙවන මතුගම රේණුකා ඔබේ උදවු පතයි

  👤  4408 readers have read this article !
By mawbima 2018-05-16

මතුගම, රේණුකා දමයන්ති (38) දරුවන් දෙදෙනකුගේ මවකි. මේ වන විට ඇය සැමියා නොමැතිව, අසනීප තත්ත්වය නිසා රැකියාවක් කරගත නොහැකිව, ජීවත්වීමට නිවෙසක් නොමැතිව, දියණිය පාසල් යවා ගැනීමට නොහැකිව අසරණ තත්ත්වයකට පත්ව සිටියි. රේණුකාගේ බාල දියණියට මාස පහක් වන විට සැමියා වෙනත් විවාහයකට ඇතුළත් වී ඇත. සැමියා සිටින තැන ඇය අදටත් නොදන්නීය. වැඩිමහල් පුතා මේ වන විට පැවිදි දිවියට ඇතුළත් වී සිටියි. සැමියා අතහැර යනවිට සැමියාගේ නිවසේ පදිංචිව සිටි ඇය සැමියා නොමැතිව වුවද දරුවන් දෙදෙනා සමඟින් එහිම ජීවත් වූවාය. සැමියාගේ කිසිදු හව්හරණක් නොමැතිව ඇය වසර තුනක් එම නිවෙසේ ජීවත් වූ අතර අසල්වාසීන් දරු පවුල නඩත්තු කිරීමට උදවු කර ඇත. ආර්ථික අපහසුතා වැඩි වූ බැවින් වැඩිමහල් පුතා පැවිදි බිමට ඇතුළත් කරන ලද්දේ මේ කාලයේය. සැමියාගේ වැඩිමහල් සහෝදරිය විසින් මල්ලී නොමැතිව නිවෙසේ සිටීමට නොහැකි බව කියා රණ්ඩු කොට නිවෙසින් එළියට දැමූ බව රේණුකා කියන්නීය.

ඉන්පසුව බාල දියණියත් සමඟ ඇය ඇගේ මවගේ නිවෙසට පැමිණි අතර ඇය රැකියාවක් කළේ දරුවාටත් තමාටත් මවට බරක් නොවී ජීවත් වීම සඳහාය. අවුරුදු අටක් එම රැකියාවේ නිරත වූ ඇයට හදිසියේම කොන්දේ අමාරුවක් වැලඳිණි. වෛද්‍ය පරීක්‍ෂණ අනුව ඇයට ටී.බී වයිරසය ශරීරගත වී තිබිණි. ඇය රාගම පුනරුත්ථාපන රෝහලෙන් මේ වන විට වසර තුනක් තිස්සේ ප්‍රතිකාර ගනිමින් සිටින්නීය. තමා එතෙක් කළ රැකියාව කරගත නොහැකි බැවින් ළමා නිවාසයක සේවය කරන්නට පටන් ගත්තත් රෝගී තත්ත්වය උත්සන්න විය. ඒ අනුව රැකියාවේ නිරත නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබිණි. ඒ අනුව ඇයගේ කොඳු ඇටපෙළ දිරායෑමේ තත්ත්වයක්ද ඇති බව වෛද්‍ය වාර්තාවලින් හඳුනා ගැනිණි. ඇයට එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක් කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

මේ වන විට ඇය ජීවත් වන්නේ ඇගේ මල්ලීගේ නිවෙසේය. ආර්ථික අපහසුතා මධ්‍යයේ ඇයගේ මල්ලී විසින් මේ වනවිට ඇයත් දියණියත් රැක බලා ගනු ලබයි. මේසන් වැඩ කරන සහෝදරයා තම අක්කාත් ඇගේ දියණියත් තම ආබාධිත පුතාත් පවුලේ සියලු දෙනාත් මේ වනවිට රැක බලා ගනිමින් හිඳියි.

දියණිය කාවින්ද්‍යා (13) පාසල් ගියේ ඇයගේ අක්කාගේ නිවෙසේ සිටය. අධ්‍යාපන කටයුතු සඳහා ඇය අක්කාගේ නිවෙසට වියදම් යැව්වාය. අක්කාද ජීවත් වන්නේ කුලී රැකියාවෙනි. රෝගී තත්ත්වයත් සමඟ රැකියාවේ නිරත වීමට නොහැකි නිසා මුදල් යැවීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට ඇති වී තිබේ. තවදුරටත් දියණියට වියදම් කිරීමට තරම් අක්කාට නොහැකිය. දියණිය මේ වන විට අම්මා සමඟ මාමාගේ නිවෙසේ ජීවත් වේ. ඇය අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ගියේ නැත. දියණිය 8 වසරේය. ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 106ක් ගත්තේ නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මැද්දේය.

රේණුකාගේ දියණියට පාසලකුත් ජීවත් වීමට මඟක් හා හිසට වහලයක් අවශ්‍යම මොහොතකි. ඒ දියණිය ද රැකබලාගත යුතු වයසේ පසුවන බැවිනි. ඇයට උදවු කළහැකි අයකු වෙතොත් එය මේ වෙලාවේ විශාල සැනසිල්ලක් බව ඇය කියන්නේ හැඬු කඳුළිනි.

රසිකා හේමමාලි, හොරණ - රොහාන්
පින්තූර - කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon