කවියෙන් වැඩිහිටි දීමනාව ඉල්ලූ වෙල්ලස්සේ අප්පුහාමිට දිසා ලේකම්වරියත් කවියෙන්ම පිළිතුරු දෙයි

  👤  4431 readers have read this article !
By mawbima 2018-05-16

මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පද්මකුලසූරිය මහත්මියට බුත්තල ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි දිසානායක මුදියන්සේලාගේ අප්පුහාමි නමැති ගැමියකු තමන්ට වැඩිහිටි සහනාධාර මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා කවියෙන් අපූරු ලියමනක් එවා තිබිණි. එම රාජකාරි ලිපියට මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරියද ප්‍රතිචාර දක්වා තිබුණේ කවියෙන්මය. එතැනින් නොනැවතුණු මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය මෙම වැඩිහිටි ගැමියාට වැඩිහිටි ආධාරයක් ලබාදීමට සුදුසුකම් ඇද්දැයි සොයාබැලීමට බුත්තල ප්‍රාදේශීය ලේකම්වරියට දන්වා එම කාර්යාලයේ සමාජ සේවා නිලධාරියකුද යොමු කර තිබිණි.

පහතින් ඇත්තේ මෙම කවිකාර ගැමියා මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පද්මකුලසූරිය මහත්මියට කවියෙන් යොමු කළ ඉල්ලීමයි.

සපිරුණ බතින් බුලතින් පෙර සිටම හෙලේ
කපිල වස්තුපුර බන් වෙල්ලසුවෙ වෙලේ
අප මහදිසාපති ගරු මැතිතුමියගෙ නිලේ
සුපිපුණු මලින් සරසමි කවි පොකුණු විලේ
බුත්තල කෝරලේ ඔක්කම්පිටියෙ ඉම
වත්තක ග්‍රාමයේ ගාමිණිපුරයෙ ගම
හැත්තෑ දෙකට ළංවන මහලු කම
අප්පුහාමි වැඩිහිටියෙකි ලියන මම
සවිබල වූවදා සිට ගතසිත දෑත
ගොවිතැන් බත්වලට අවධියෙ සිට අෑත
සවි ශක්තියද වෙර වීරිය අවපාත
කවි පහනක්ය අගහිඟයෙනි තෙල් බේත
හනුහරයෙන්ම ආ හේනට කෙතට බැස
විනිමය නොවේ පිරවූයේ රටෙහි කුස
ගිණුමට හිස් වු මගෙ වැඩිහිටි කඳුළු ඇස
යොමු කළ මැනවි මැතිනිය පින් බරවු හිස
හැට නමයක්ම වයසක මගෙ ගොවි නෝනා
හෙට ගැන සැකයි ඇය ලෙඩදුක්වල නානා
කැටපත් පවුරු නොසොයන නොමයන පීනා
කටබඩ රැක්මමය අප දෙන්නට ඕනා
සහනය අයැද ප්‍රා/ලේ බුත්තම හිමී
සිහසුන ළඟට එතුමාගෙද සිරස නැමී
ඉහමත තබාගත් දුක් කවි කඳුළු කෙවී
පිහිදා ගනිමි එනතුරු මඳ සුළඟ නැමී
තුරුලිය කුඹුරු වතුපිටි කරවන සාර
ගරු මැතිනියනි මුළු වෙල්ලස්සම භාර
කිරුළෙන් ඔබතුමියගේ රශ්මිය දාර
අරුණලුවක්ම වේවා!!! නොමවන බැහැර

ඩී.එම්. අප්පුහාමි නමැති ගැමියා එවා තිබූ මෙම ඉල්ලීමට මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය කවියෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේය.

පිරිසුදු අදහසින් නිසිලෙස ඇති තත්ත
දන්වා එවන පියවරයක් යැයි ගත්ත
ලෙස මම සිතමි ඔබගැන නැත වෙන දත්ත
කවි ලියමන පමණි ගත්තෙමි ඔබෙ පැත්ත
සියවස් දෙකකි අරගලයට වෙල්ලස්සේ
මරණය දැකත් විරුවන් නැත පසු බැස්සේ
එනමුත් සිතන විට ඔබෙ ලියමන ඔස්සේ
කළ යුතු දේ බොහොයි සිතුණා හැම තිස්සේ
අගහිඟ සෝ සුසුම් දහසක් දරාගෙන
කඳුළැල් පිසදමන කවිමල් නෙළාගෙන
සත් දශකයක් ගොවිකම් හිස දරාගෙන
ඔබ කළ මෙහෙය අගයමි හිස පුරාගෙන

තොරතුරු වගතුගද ඇතුළුව ඔබෙ තත්ත්වේ
යම් පමණකට ඔබෙ කවි ලිපියෙන් දිස්වේ
කළයුතු යැයි යමක් මා සිත අනලස් වේ
නිසි නිල දරුවන්ට දන්වමි ඔබේ තත්ත්වේ
ඔබටත් ඔබේ බිරියට හැටවිය පැන්න
දියහැකි සහනයක් නිසි ලෙස ලැබ දෙන්න
ප්‍රා/ලේ තුමාටත් බුත්තල ඔබ දන්න
දන්වමි මමත් අවධානය යළි ගන්න
හිරු සඳ දිලෙන හෝරා විසිහතර පුරා
නිරෝගි සුවය වේවා! සිත සතුට අරා
පායන හිරු විලස පෙර 'ඹර අඳුර ඉරා
සැනසුම ළඟා වේවා! ඔබෙ දිවිය කරා

මොනරාගල - සංජීව බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon