ලංවිම ඉන්ජිනේරු වැඩ වැරුම දිගටම

  👤  4404 readers have read this article !
By mawbima 2018-05-16

හර්ෂනී අර්සකුලරත්න

ලංවිම ඉන්ජිනේරුවන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (15දා) දිනයේ ද ප්‍රදේශ ගණනාවකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වූ අතර ඇතැම් යථාවත් කිරීම් සඳහා පැය 4කට අධික කාලයක් ගතවී ඇතැයිද වාර්තා වේ.

බත්තරමුල්ල, කොස්වත්ත, පැලවත්ත, තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම, රත්මලාන, දෙහිවල ආදී ප්‍රදේශවලින් විදුලිය බිඳවැටීම් ඊයේ (15දා) දිනයේ වාර්තා වූ අතර ඇතැම් ප්‍රදේශවල උදෑසන 7.00ට පමණ බිඳ වැටුණු විදුලිය යථාවත් කිරීම මධ්‍යහ්න 12.00 වන තුරුද සිදු නොවුණු බවට වාර්තා විය.

එම යථාවත් කිරීම සඳහා පැය 4ක් පමණ දිගු කාලයක් ගතවීමට හේතුව වී ඇත්තේ විදුලි ඉන්ජිනේරුවන්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය නිසා බවත් එම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීමත් සමඟ නිසි තාක්‍ෂණ ක්‍රමවේදම පිළිපදිමින් ඉන්ජිනේරු උපදෙස් ලැබෙන තුරු ක්‍රියාත්මක වීමට වෙනත් තාක්‍ෂණික කණ්ඩායම්වලට සිදුවීම බවත් ලංවිම ප්‍රකාශයෙක් 'මව්බිම'ට පැවැසීය.

කෙසේ වෙතත් ඊයේ (15දා) දිනයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මේ බිඳ වැටීම් සඳහා හේතුව වී ඇත්තේ විදුලිය බෙදාහරින සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක් අඩාල වීම බව විදුලි ඉන්ජිනේරු සංගමය පැවැසීය.

ලංවිම ඉන්ජිනේරු සංගමය සඳහන් කරන ආකාරයට සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙනතුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත නොහැර පියවරෙන් පියවර සිය ක්‍රියාමාර්ග දැඩි කරමින් ඉදිරියට ගෙන යෑමට ඔවුන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් හට වැඩි වැඩියෙන් විදුලි බිඳවැටීම්වලට මුහුණදීමට සිදුවනු ඇතැයිද පත්වන අපහසුතාව පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන බවද එම සංගමය ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon