අනාගත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා

  👤  4418 readers have read this article !
By mawbima 2018-05-16

ජේ.ටී. ද සිල්වා

"සයිටම්" වෛද්‍ය විද්‍යාල අර්බුදය සම්පූණයෙන් විසඳී නොමැති තත්ත්වයක් හමුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉදිරිපත් කරමින් අනාගත දරුවන්ගේ සම අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ භයානක පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කර සිටී.

වර්තමාන ආණ්ඩුව විසින් 2018 අප්‍රේල් 06 වැනි දින නිකුත් කරන ලද "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය" නමින් නිකුත් කරන ලද පනත් කෙටුම්පත මඟින් මේ වන විට ඉතා සීග්‍රයෙන් සීමා වෙමින් පවතින අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ තර්ජනයක් මතු වී ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කරයි.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට පරිබාහිරව එම පනත බල රහිත කරමින් මෙම පනත් කෙටුම්පත සාදා ඇතැයි සඳහන් කරන එම සංගමය මෙම පනත් කෙටුම්පතට අනුව ඕනෑම දේශීය හෝ විදේශීය ආයතන සමඟ ගිවිසුම් මඟින් සම්බන්ධ වී උපාධි අලෙවි කිරීමට කොතලාවල විශ්වවිද්‍යාලයට හැකියාව ලැබෙන බව අවධාරණය කරයි.

මෙම පනත අනුව විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයට පැවරෙන අතර උප කුලපතිවරයා හමුදා නිලධාරියකු විය යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

පාලක මණ්ඩලයේ බහුතරය හමුදා නිලධාරීන් වන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයන් අවලංගු කර ඇති බවද සංගමය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බැහැරව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන, ගාස්තු අය කරන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට යෝජනා කර ඇති බව සංගමය පෙන්වා දෙයි.

එම පනත් කෙටුම්පත ඉවත් කර නොගතහොත් ශිෂ්‍ය ව්‍යාපාරය හා කම්කරු ව්‍යාපාර ඒකාබද්ධව පොදුජන අරගලයක් හරහා එය පරාජයට පත් කිරීමට එක්වන බව සංගමය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon