ජපන් සහායෙන් කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු සඳහා

  👤  4362 readers have read this article !
By mawbima 2018-05-16

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන ජපාන ආර්ථික සමාජ සංවර්ධන වැඩසටහන යටතේ කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 300ක් වටිනා වාහන ඇතුළු උපකරණ තොගයක් පෙරේදා (14දා) ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාර දුන්නේය.

හදිසි ගුවන් සේවා කටයුතුවලදී භාවිතයට ගැනෙන සේවා වාහන 5ක්, ගිලන් රථ 2ක්, ගුවන් යානා සහ පාලන කුලුනු සමඟ සම්බන්ධවීමට යොදා ගන්නා වී.එච්.එෆ්. තරංග මාලා ශ්‍රව්‍ය උපකරණ 5ක්, විදේශ රටවලින් මෙරටට පැමිණෙන කුරුලු උණ, එච්. 1 එන්. 1 වැනි බෝවන රෝග පරීක්‍ෂා කෙරෙන යන්ත්‍ර 04ක්, දියර පුපුරණ ද්‍රව්‍ය පරීක්‍ෂා කරන යන්ත්‍ර 8ක් මේ උපකරණ තොගයට අයත් විය.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කටයුතු සඳහා තවදුරටත් ආධාර උපකාර කිරීමට ජපානය සූදානම් බවත්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ජයිකා ආධාර යටතේ මේ වන විට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා එහිදී පැවැසුවේය. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා ජපානය අතර 1952 වසරේ සිට ඇතිවූ තානාපති සබඳතා තුළින් ගොඩනැඟුණු මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වීම සතුටට කරුණක් බවද හෙතෙම සඳහන් කෙළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේදී ජපානය හැමවිටම ප්‍රමුඛත්වය ගන්නා බවත් විශේෂයෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමට ජපානය ඉදිරිපත්වීම පැසසිය යුතු කරුණක් බවත්, මේ තුළින් ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු වන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon