රට ගැන හිතුව අපිව දැන් මුළු රටටම අමතක වෙලා එදා යුද්ධයේදී අපි රණබිම අතහැර ආවා නම් අද රට පාලනය කරන්නේ ප්‍රභාකරන්

  👤  4477 readers have read this article !
By mawbima 2018-05-16

වීහේණ අනුරාධ

"එදා අපි යුද්ධයේදී රණබිම අතහැර ආවා නම් අද අපට රටක් නෑ. රට පාලනය කරන්නේ ප්‍රභාකරන්. රණවිරුවන් යුද්ධ කරද්දී තමන්ගේ ශරීරය, ජීවිතය, අඹුදරුවන් ගැන සිතුවේ නෑ. රට ගැන විතරක් හිතුව අපිව දැන් මුළු රටටම අමතක වෙලා. එදා අපි වීරයෝ අද සොක්කො."

සමස්ත ලංකා ආබාධිත හා මියගිය රණවිරු සංසදය සංවිධානය කර තිබූ රැස්වීමකදී හිටපු බලලත් නිලධාරි දේශබන්දු අනුර වැලිගම මහතා එසේ පැවැසුවේය. අවුරුදු 55න් පසු වැටුප, විශ්‍රාම වැටුපකට සීමා නොකර ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙස ආබාධිත රණවිරුවන් කරන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

මේ අවස්ථාවට සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ආබාධිත රණවිරුවන් 100ට අධික සංඛ්‍යාවක් සහභාගි විය.

සභාපතිවරයා මෙසේද පැවැසුවේය.

'අපේ රට අවුරුදු 30ටත් වැඩි කාලයක් යුද්ධ කළා. මේ කාලය තුළ ආර්ථික සංස්කෘතික සමාජික වශයෙන් අපි අන්ත පාරිහානියට පත් වුණා. යුද්ධය නොනැවතුණා නම් මෙලහකටත් රට පාලනය කරන්නේ ප්‍රභාකරන්, අපි යුද්ධ කළේ රට වෙනුවෙන්. යුද්ධයේදී අපි ගැන, අපේ අඹුදරුවන් ගැන, අපේ ජීවිත ගැන හිතුවේ නෑ. රට ගැන විතරයි හිතුවේ. ඒත් ඒ හැම දෙයක්ම ජනතාවට අමතක වෙලා එදා වීරයෝ වුණු අපි අද සොක්කෝ වෙලා.

අද අපේ අත්, කකුල්, ඇස්, ශරීරයේ කොටස් නෑ. කිසිම රැකියාවක් හෝ ගොවිතැන් බතක්, ස්වයං රැකියාවක් හරියාකාරව කරගන්න බෑ. මේ විදියට අපි 15,000ට අධික සංඛ්‍යාවක් දුකට පත්වෙලා ඉන්නේ රට වෙනුවෙන් රට කරන අය වෙනුවෙන්. අපි මේවගේ කැපකිරීමක් කළා නම් අපි වගේ සුළු පිරිසකට ඇයි අපේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි. රෝහල්වල මගී ප්‍රවාහන බස් රථවල අපේ ආබාධිත රණවිරුවන්ට ප්‍රමුඛස්ථානය දෙනවා කිව්වට දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් කැචස් එක අරගෙන බස් එකකට නැග්ගත් සීට් එකක් ලැබෙන්නේ නෑ. බස්වල, රෝහල්වල ඇතුළු හැම පොදු සේවා ස්ථානයකම අපේ ඇස්වලට කඳුළු උනන අවස්ථා අනන්තයි.

පාලකයෝ විතරක් නොවේ අපේ ඉහළ නිලධාරීත් අපිට ඇහුම්කන් දෙන්නේ නෑ. අපිව කපලා, අපේ ඉල්ලීම් කප්පාදු කරන්න වැඩිපුර දායකත්වය දෙන්නේ අපේ නිලධාරීන්. යුද්ධයේ වේදනාව ඔවුන්ට අත් වුණේ නෑ. යුද්ධය කරපු අපි සහ නිලධාරීන් පමණයි ජීවත්වලින්, ශරීර කොටස්වලින් වන්දි ගෙව්වේ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon