පන්සලට පැමිණි මිතුරා හිමිනමට කොකා පෙන්වලා

  👤  4323 readers have read this article !
By mawbima 2018-05-16

බළන්ගොඩ - පියසේන එන්. හේවගේ

බළන්ගොඩ නගරයෙන් තරමක් දුරින් පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමියන් සතු රන් මාලයක් සහ රුපියල් දස දහසක මුදලක් තම ගිහි මිතුරකු විසින් සොරාගෙන ගොස් ඇති බවට බළන්ගොඩ පොලිසියට ඊයේ (15දා) පැමිණිල්ලක් ලැබී ඇත. පැමිණිල්ලේ සඳහන් පරිදි සිද්ධිය මෙසේය.

මෙම තරුණ හිමිනම කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිරිවෙනක ඉගෙනුම ලබන අතරේ අනුරාධපුර ප්‍රදේශයේ තරුණයකු සමඟ මිත්‍රකමක් පවත්වාගෙන ගොස් ඇත. මීට මාස 4කට පමණ පෙර බළන්ගොඩ ප්‍රදේශයේ පන්සලට පැමිණ එහි භාරකාරත්වය ගෙන හිමිනම කටයුතු කරගෙන යද්දී අනුරාධපුර පදිංචි බව පැවසූ මිතුරා සමඟ කීපවිටක් දුරකථනය මඟින් ආගිය තොරතුරු කතාබහ කර ඇත.

හදිසියේම මෙම මිතුරා පසුගිය දිනෙක පන්සලට පැමිණ හිමිනම හමුවී ඇත. සිද්ධිය වූ දින ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවෙසක දානයට වැඩම කරන බවත් ආපසු පැමිණෙන තුරු පන්සලේ සිටින ලෙසත් හිමිනම තම මිතුරාට කියා ඇත.

හිමිනම දානය නිමවී මිතුරාටද කෑම පාර්සලයකුත් රැගෙන පන්සලට පැමිණ බලන විට මිතුරා දකින්නට සිටියේ නැත. මේස ලාච්චුව හා පොත් රාක්කයද අවුස්සා තිබූ හෙයින් විපරම් කර බැලීමේදී රන් මාලය සහ රුපියල් දස දහසක මුදලද අතුරුදන්ව තිබිණි. මේ ගැන සිතමින් සිටින විට 'මම ඔබ වහන්සේට අයිති මුදල් හා බඩු රැගෙන ආපසු යනවා. හාමුදුරුවන්ට රත්රන් හා සල්ලි මොකටද?' යනුවෙන් දුරකථනයෙන් පවසා ඇමතුම විසන්ධි කර ඇත.

මෙම මිතුරාගේ දුරකථන අංකය හැර පදිංචි ස්ථානයක ලිපිනයක්ද නොදන්නා නිසා උගුලකට හසුවූ හිමිනම පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් සටහන් කළේ අන් කළයුතු කිසිවක් නොමැති බැවිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon