සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පැවැරීමට ඉඩ දෙන්න එපා

  👤  4484 readers have read this article !
By mawbima 2018-05-16

ආරියරත්න ගනේගොඩ

සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පැවැරීමට ඉඩ නොදෙන ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. එම්. පියදාස මහතාගේ අස්සනින් යවන ලද ලිපියේ මෙසේද සඳහන් වේ.

සමෘද්ධි බැංකුව පවත්වාගෙන යන්නේ මේ රටේ දිළිඳුම ජනතාවගේ මුදල්වලිනි. වසරක පමණ කාලයක් මෙය පවත්වාගෙන යෑමෙන් ණයක් ගැනීමේදී ඇපයට තැබීමට කිසිවක් නැති දිළිඳු ජනතාවට සුළු ණය ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගැනීමට හැකිවූ බව නොරහසකි.

සමෘද්ධිලාභින් ලක්ෂ 15ක් පමණ මේ බැංකුවෙන් යම් යම් සහන ලබාගන්නා බවද ප්‍රකටය. කලින් කලට මෙය භාරව සිටි ඇමැතිවරුන් 'යහපාලන' ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් වගේම යම් තරමකට සමෘද්ධි බැංකුව අවභාවිත කර ඇතැයි අපි නොසිතමු.

එහෙත් අවභාවිතය නතර කිරීමට ඇති එකම විසඳුම සමෘද්ධි බැංකුව මහ බැංකුවට පැවැරීම නොවන බව අපගේ මතයයි.

මහ බැංකුව ගැන අපේත් මෙරට බහුතර ජනතාවගේත් විශ්වාසය නැති තත්ත්වයකට පත්වී හමාරය. ඒ 'යහපාලන' ආණ්ඩුව විසින් මහ දවාලේ මහ බැංකුව කොල්ලකෑමත් සමඟය. එම කොල්ලකෑමෙන් ලක්ෂ 75ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ විශ්‍රාම දිවිය සාර්ථක කරගන්නට තිබූ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලිවලට සිදුකළ අසාධාරණයේ පාපයෙන් 'යහපාලන' ආණ්ඩුවට බේරෙන්නට ඉඩක් නැහැ.

සමෘද්ධි බැංකුවේ ඇති බිලියන 200කට ආසන්න මුදලට යහපාලන ආණ්ඩුව කෙළ හලන බවද සමෘද්ධිලාභීන්ට පමණක් නොව මේ රටේ බහුතර ජනතාවට වැටහී හමාරය. මෙම ක්‍රියාවට දැඩි විරෝධය පළ කරන අප සංවිධානය එය වහාම නතර කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

එසේ නොවුණහොත් සමෘද්ධි බැංකුව රැකගැනීම සඳහා පෙරමුණ ගන්නා සමෘද්ධි නිලධාරීන් හා සමෘද්ධිලාභීන් ගෙන යන ඕනෑම අරගලයකට නොපැකිළිව අප සංවිධානයේ සාමාජික සාමාජිකයන්ගේ සහයෝගය ලබාදෙන බවද දන්වා සිටිමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon