භූමිතෙල් මිල ඉහළ යෑමත් සමඟ වතුකර ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දීලා

  👤  4373 readers have read this article !
By mawbima 2018-05-16

පස්සර _ කපිල ගුණවර්ධන, ඇටම්පිටිය _ රත්න වීරසිංහ

"ආණ්ඩුව භූමිතෙල් මිල ඉහළ දැමීමත් එක්ක වතුකරයේ ජනතාව ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තියෙනවා. හාල් කිලෝ එකක් රු. 100යි. පොල් ගෙඩියක් රු. 100යි. දැන් භූමිතෙල් ලීටරයකුත් රු. 100යි. වතු කම්කරුවගේ දවසෙ පඩිය රු. 500යි. දැන් වතුකරයේ ජනතාවට කන්න කියන්නෙ තේ දලුද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා" යැයි වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත අබේකෝන් මහතා පැවැසීය.

බණ්ඩාරවෙල _ ඇටම්පිටිය දික්වැල්ල වත්තේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.

"මේ රටේ ලක්ෂ 09ක් විතර වතු කම්කරු ජනතාවක් ජීවත් වෙනවා. වතු කම්කරු පවුල් එක් ලක්ෂ හැටදහසක් ජීවත් වෙනවා. මේ ජනතාවගෙන් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය නැහැ. භූමිතෙල් මිල රු. 57කින් වැඩි කළාට පස්සේ මේ ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා.

වතු ජනතාව ගෑස් වෙනුවට පාවිච්චි කරන්නෙ භූමිතෙල්. භාණ්ඩයක් වත්තට එනකොට ඒ භාණ්ඩයේ සාමාන්‍ය මිල වෙනස් වෙනවා. රු. 101ක් වෙන භූමිතෙල් ලීටරයක් වත්තට එනකොට රු. 125ක් _ රු. 130ක් පමණ වෙනවා. පොල් ගෙඩිය වතු කම්කරුවා ගන්නෙ රු. 110ට. දැන් ආණ්ඩුව කියනවා සමෘද්ධි සහන තියෙන අයට භූමිතෙල් සහනාධාරයක් දෙනවා කියලා. මේ රටේ ශ්‍රමය වගුරන රටේ ආර්ථිකයට විශාල පංගුවක් එකතු කරන වතු කම්කරු ජනතාවට ඒ සහනාධාරයවත් නැහැ. වතු කම්කරු ජනතාව සිවිල් අයිතිවාසිකම් භුක්ති විඳින්නෙ නැහැ. ඒ නිසා මේ රටේ පහළ පන්තියේ ජනතාවට යම් සහනයක් ලබාදෙන්න කටයුතු කරනවා නම් ඒ සහනයවත් මේ වතු කම්කරු ජනතාවට ලැබෙන්නෙ නැහැ. ආසියාවෙන් ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් පළමු වැනි ස්ථානයට ඇවිත් තියෙනවා. මන්දපෝෂණයෙන් වැඩිපුරම පෙළෙන්නෙ වතු කම්කරු ජනතාව. මේ ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යනකොට මේ වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාම පහළ මට්ටමට වැටෙනවා. ආණ්ඩුව හැම කම්කරු දිනයක් ඉවර වෙනකොටම ජනතාවට තෑගි දෙනවා. මේ සැරේ දුන්නු තෑග්ග රු. 101ට භූමිතෙල් වැඩි කළා. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පක්ෂය ඇතුළේ අර්බුදයක් තිබුණා. දැන් ඒ ප්‍රශ්නය සමනය කරගන්න තෙල් ප්‍රශ්නය ගැන කතා කරනවා. ආණ්ඩුවේ තියෙන අගමැතිතුමාගේ ප්‍රශ්න යටපත් කරගන්න පීඩිත ජනතාවට මේ ආකාරයට බර පටවන්න එපා කියන ඉල්ලීම අපි වතු කම්කරු මධ්‍යස්ථානය හැටියට රජයට මතක් කරනවා.

ආණ්ඩුව වතුකරයේ ජනතාව සම්බන්ධයෙන් වචනයක් කතා කරන්නෙ නැහැ. මීට වඩා වැඩියමක් ආණ්ඩුව වතු ජනතාව වෙනුවෙන් ඉටු කරන්න ඕනෑ. ඒ අය මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන ජනතාවක්. භූමිතෙල් මිල ඉහළ දාලා වතුකරයේ ජනතාව දැඩි පීඩාවට ලක්කරලා තියෙනවා. ඒ නිසා වහ වහා ආණ්ඩුව මේ සඳහා මැදිහත් විය යුතු වෙනවා. එහෙම නොවුණහොත් වතු කම්කරු මධ්‍යස්ථාන හැටියට වතු ජනතාව සමඟ පාරට බහින්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි රජයට අනතුරු අඟවනවා. වහාම මේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් වෙලා විසඳුමක් දෙන්න කියලා ආණ්ඩුවට අවධාරණය කරනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon