නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර කැඩිලා කිසිදු පිරිසුදු කිරීමකින් තොරව අපද්‍රව්‍ය මුහුදට මුදාහරිනවා

  👤  4252 readers have read this article !
By mawbima 2018-05-16

හර්ෂනී අර්සකුලරත්න, අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

පරිසර බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අපද්‍රව්‍ය පිරිසුදු කිරීමේ අංගණ හතරම මේ වනවිට අක්‍රිය වී ඇති බවත් කිසිදු පිරිසුදු කිරීමකින් තොරව බැර ලෝහ ඇතුළු අපද්‍රව්‍ය මුහුදට මුදාහරින බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

එසේම එම බලාගාරය 2017 මැයි 30දා සිට අද දක්වා විධිමත් පරිසර බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වන අතර මල අපද්‍රව්‍ය, කර්මාන්ත අපද්‍රව්‍ය, ගල්අඟුරු සේදී එන ජලය, අළු සේදී එන ජලය කිසිදු පවිත්‍ර කිරීමකින් තොරව මහ මුහුදට මුදාහරින බවට සිය සංගමය නිරීක්ෂණය කොට ඒ පිළිබඳව පුත්තලම දිසාපති, දිස්ත්‍රික් ලේකම්වරයාත්, වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයාත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාත් දැනුවත් කළ බවද ඔහු සඳහන් කරයි.

එම පැමිණිල්ලට අනුව අදාළ නිලධාරීන් එහි සංචාරයට පෙර ඒ බව බලාගාර නිලධාරීන්ට වාර්තා කර පරීක්ෂණ පවත්වන්නට ගිය බවත් එසේ යෑමේදී අපද්‍රව්‍ය මුදාහැරීම තාවකාලිකව නවතා දමා තිබූ බවටද ඔහු චෝදනා නඟයි.

පරිසර බලපත්‍රයක් නොමැතිව පෞද්ගලික නිෂ්පාදන කාර්යයක් හෝ කළ නොහැකි පරිසරයක අළු ටොන් සිය ගණනක් පරිසරයට මුදාහරින බලාගාරය පිළිබඳ වයඹ පළාත් පරිසර අධිකාරිය සිය අවධානය යොමු නොකිරීම ගැටලුවක් බවද හෙතෙම පවසයි.

වයඹ පළාත් පරිසර අධිකාරිය ප්‍රායෝගිකව මාස දහයක් පුරා මේ කරුණ නොසලකා හැර ඇති බවත් සිදුවන දැවැන්ත පරිසර විනාශයට කිසිවකු වගකීම් නොදරන බවත් ඔහු චෝදනා නඟයි.

පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා නොරොච්චොලේ හරහා වන පරිසර විනාශය පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය හා වයඹ පළාත් පරිසර අධිකාරිය නිසි විශේෂඥ කණ්ඩායමක් යොමු කර නිසි අධ්‍යයනයක් සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග නොපමාව ගැනීමට කටයුතු කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon