විධිමත් සංරක්ෂණයක් නොවීම නිසා පුස්කොළ පොත් ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙමින් යනවා

  👤  4395 readers have read this article !
By mawbima 2018-05-16

මහනුවර - නදීක දයා බණ්ඩාර

විධිමත් සංරක්ෂණයක් සිදු නොවීම නිසා පුස්කොළ පොත් ඇතුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙමින් පැවැති බව පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පියතිස්ස සේනානායක මහතා ප්‍රකාශ කරයි.

යෝජිත පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය නිසා එම උරුමයන් ඉදිරි පරම්පරාවන් සඳහා රැක ගැනීමේ හැකියාව ලැබෙන බව පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේදී පැවැති උත්සවයේදී මහාචාර්යවරයා මේ බව කීවේය.

විශ්වවිද්‍යාලයක් සතු විශාලතම පුස්කොළ පොත් එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු වන අතර එය දෙවැනි වන්නේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පුස්කොළ පොත් එකතුවට පමණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ නව ක්‍රමවේදයට අනුව සංරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) සිදුවිය.

එහිදී විශේෂ දේශනයක් පවත්වමින් අදහස් දැක්වූ මහාචාර්ය පියතිස්ස සේනානායක මහතා මෙසේ ප්‍රකාශ කෙළේය.
"පුස්කොළ පොත් සම්බන්ධයෙන් අප උනන්දු වන්නේ මෙරට ඓතිහාසික උරුමය, සංස්කෘතිය, ආගම, කලා ශිල්ප, වෙදකම්, ගුප්ත ශාස්ත්‍ර ආදී නානාවිධ විෂයයන් සඳහන් වන්නේ පුස්කොළ පොත් තුළයි."

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුස්කොළ පොත් 5,200කින් පමණ සමන්විතයි. මේ සියලු පොත් සංරක්ෂණය විය යුතුයි. දීපවංසය රචනා වී තිබෙන්නේ ක්‍රි.ව. 04 වන සියවසේදීයි. ක්‍රි.ව. 5 හෝ 6 වැනි සියවස්වලදී මහාවංසය රචනා වීම ආරම්භ වුණා. නමුත් මෙහි මුල් පිටපත් අපට හමුවෙන්නේ නැහැ. බහුල වශයෙන් අපට හමුවන්නේ මහනුවර යුගයේදී යළි පිටපත් වූ පුස්කොළ පොත් පමණයි.

විශාල පොත් ප්‍රමාණයක් විනාශ වෙලා. අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ පාලන සමයේදී පුස්කොළ පොත් රැසක් මහා බි්‍රතාන්‍යයට රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ සියල්ල අද දක්වාම සංරක්ෂණය වී තිබෙනවා. අපට අවශ්‍ය නම් මුදල් ගෙවා එහි පිටපත් ලබාගත හැකියි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව පළ නොවූ පුස්කොළ පොත් රැසක් තිබෙනවා. හිටපු පුස්තකාලයාධිපතිවරයකු වූ කේ.ඩී. සෝමදාස මහතා පුස්කොළ පොත් රැස්කිරීම සඳහා විශාල වශයෙන් වෙහෙස වුණා. වී අටුවක ‍ෙදාර වෙනුවට පුස්කොළ පොතක් තබා ඇතැයි ලැබුණු තොරතුරක් අනුව ඔහු එය බලන්න ගොස් තිබෙනවා. කරුණ ඇත්ත. අටුවට ‍ෙදාරක් නැහැ. ඒ වෙනුවට පුස්කොළ පොතක් හේත්තු කර තිබිලා. ඔහු නිකම්ම පොත ඉල්ලා නැහැ. කැලයට ගොස් ගසක් කප්පවා අටුවට සුදුසු ‍ෙදාරක් සාදවා එය සවිකර දීමට කේ.ඩී. සෝමදාස මහතා කටයුතු කර තිබෙනවා. ‍ෙදාර සවි කිරීමෙන් පසු පුස්කොළ පොත ලබා ගෙන එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙන ඒමටයි එතුමා ක්‍රියා කළේ.

විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ විශුද්ධි මග්ග ටීකා වැනි පුස්කොළ පොත් තිබෙනවා. මෙවැනි පොත් විනාශයට පත් නොවී රැක ගැනීම කළ යුතුයි."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක,නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න, වැඩ බලන පුස්තකාලයාධිපති ආර්. මහේස්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon