කරාපිටියේ හඳුනානොගත් රෝගය දරුණු නියුමෝනියා තත්ත්වයක්

  👤  4318 readers have read this article !
By mawbima 2018-05-16

ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල කරාපිටිය රෝහලේ හඳුනානොගත් යැයි පැවසූ රෝගය දරුණු නියුමෝනියා තත්ත්වයක් බවත් මේ දිනවල දකුණු පළාතේ එම දරුණු නියුමෝනියා තත්ත්වය පැතිරෙමින් පවතින බවත් ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

පසුගිය මාස කිහිපය තුළ යම්කිසි මට්ටමකට තිබිලා දැන් උච්ච තත්ත්වයට පත්වෙලා. මාතර, හම්බන්තොට හා තංගල්ල යන ප්‍රදේශවලින් රෝගීන් පැමිණෙනවා. දැනටමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ අප වාට්ටුවේ මෙන්ම අනෙකුත් ළමා වාට්ටුවලත් රෝගීන් සෑහෙන්න ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන්ම අවුරුදු 2ට හා 3ට අඩු දරුවන්ට ඒ කියන්නේ ඉපදුණු දිනයේ සිට වයස 03 දක්වා දරුවන්ට මේ රෝගී තත්ත්වය බරපතළ තත්ත්වයට පත්වෙනවා.

මීට මූලික හේතුව වශයෙන් අපේ සියලු වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමෙන් පසු සොයාගෙන ඇත්තේ වයිරස් එකකින් ඇතිවන නියුමෝනියා තත්ත්වයක් නොව ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ යන වයිරස්වලින් ඇති වන නියුමෝනියා තත්ත්වයක්. මෙය වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටත් හැදෙනවා. විශේෂයෙන් අවුරුදු 02ට අඩු ළමයින්ට දරුණු විය හැකියි. මෙය වළක්වා ගැනීම තමයි කළ යුත්තේ. මෙයින් පළමු කාරණය ලෙස නිරෝගී දරුවන් ආරක්ෂා කරගත යුතුයි. විශේෂයෙන්ම මේ රෝගය සෑදුණු දරුවන්ගේ අයියලා මල්ලිලා සිටිනවා නම් ඔවුන් මේ රෝගී දරුවන් බැලීමට රෝහලට නොපැමිණිය යුතුයි. මවුපියන් විශේෂයෙන් මඟුල් ගෙවල්, දානේ ගෙවල් ජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට නොයා යුතුයි.

කැස්ස, හෙම්බිරිස්සාව. උණ, පාචන තත්ත්වයන් තියෙන දරුවන් පාසල්, පෙර පාසල් නොයවා හැකි තරම් ගෙදර රඳවා ගන්න. එය නිරෝගී දරුවන්ට කරන උදව්වක්. ඒ වගේම රෝගීන් බැලීමට එන ප්‍රමාණය අඩුකර ගන්න. නිරෝගී පුද්ගලයන් මෙම රෝගීන් බැලීමට පැමිණීමෙන් ඔවුන් රෝගී විය හැකියි. එය අවම කර ගැනීමට අප රෝහලේ අධ්‍යක්ෂතුමාගේ ඇතුළු සියලු දෙනාගේ උදවු ඇතිව පැමිණෙන අය පාලනය කර තියෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලය ඇතුළු දරුවන්ගේ මවුපියන් ඇතුළු සියලු දෙනාට මුඛ හා නාස් ආවරණ පැලඳවීමට යෝජනා කර තියෙනවා. රෝගීන් බැලීමෙන් පසු අත සබන් හා රසායනික ද්‍රව්‍ය යොදා සේදීමට පහසුකම් සලසලා තියෙනවා. මේ සුළු දේවල් පිළිපැද්‍ෙදාත් මේ රෝගය පැතිරීම අවම කර ගත හැකියි. එසේම පෙර කී වයසේ දරුවන්ට තද උණ, කැස්ස, බඩඑළිය යෑම තදට ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වන ලෙසද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon