දකුණු ආසියාතික මලල ක්‍රීඩාවලින් පිට පිට ජය වාර්තා තැබූ නිවුන් සොයුරන්ට හිමි ඉඩම් කැබලි හා මුදල් ත්‍යාග දෙනවා කියලා දුන්නේ නෑ!

  👤  4369 readers have read this article !
By mawbima 2018-05-16

සමස්ත ලංකා පාසල් හා දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගවලින් පිට පිටම ජය වාර්තා කරමින් ඔලිම්පික් රන් පදක්කම් රටට හිමිකර දීමට ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයම කැප කර සිටින නිවුන් පුතුන් දෙදෙනාට රාජ්‍ය නිලධාරීන් දෙන බවට පොරොන්දු වුණ බිම් කැබලි හා මුදල් ත්‍යාග නොලැබීමෙන් ඔවුන් දැඩි කලකිරීමට පත් වී ඇතැයි අරුණ දර්ශන හා පසිඳු පවන්ත යන නිවුන් ක්‍රීඩකයන්ගේ මවුපියෝ පවසති.

මාතලේ අකුරම්බොඩ ජාතික ක්‍රීඩා පාසලේ ඉගෙනුම ලබන මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා අතරින් අරුණ දර්ශන ශිෂ්‍යයා මෙවර (2018) අවසන් වුණු දකුණු ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී මීටර් හාරසියය (400ථ) තරග ඉසව්ව තත්පර හතළිස් හයයි දශම පනස් පහකින් (46.55) නිම කරමින් නව තරග වාර්තාවක් හා මීටර් 400×4 තරග ඉසව්ව දකුණු ආසියාතික වාර්තාව සමඟ පදක්කම හා මීටර් 200 තරග ඉසව්ව දකුණු ආසියාතික ශූරතාව සමඟ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ දරුවන්ගේ දක්ෂතාව ගැන ඔවුන්ගේ මවුපියන්ගේ අදහස දැන ගැනීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිවත්ත නම් ගම සොයා 'මව්බිම' ගිය දුෂ්කර ගමනේදී එස්. පී. පේමලාල් හා ඒ. වයලට් යන මවුපියෝ මේ කරුණු අනාවරණ කළහ.

2015 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙම මවුපියන්ගේ නිවුන් දරුවන් දෙදෙනා අතරින් අරුණ දර්ශන (අයියා) මීටර් හාරසියය නව තරග වාර්තාවක් හා පසිඳු පවන්ත (මල්ලි) කවපෙත්ත හා හෙල්ලය විසි කිරීමේ තරගවලින් නව වාර්තා තබා ඇත. මෙම ක්‍රීඩකයන්ගේ මවුපියන් පවසන්නේ තම දරුවන් දෙදෙනාගේ දක්ෂතා වෙනුවෙන් එම ක්‍රීඩා උළෙලේදී පිරිනැමුණු රුපියල් විසිදාහක ත්‍යාග මුදල මෙතෙක් ලැබී නොමැති බවත් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දරුවන් දෙදෙනාට දෙන බවට පොරොන්දු වුණ බිම් කැබලි දෙක තවමත් ලැබී නොමැති බවත්ය.

රාජ්‍ය නිලධාරීන් තම දරුවන් දෙදෙනා රැවටීමට ලක් කිරීමෙන් උපන් අව්‍යාජ වේදනාබර හඬ 'මව්බිම'ට මෙසේ අවදි කළේය.
ඒ. වයලට් (මව) - "මට පිරිමි දරුවන් පස්දෙනෙක් ඉන්නවා. දුවන්න දක්ෂ තුන්වෙනියටයි හතර වෙනියටයි ඉපදුණ මේ නිවුන් පුතාලා දෙන්නා. මේ දෙන්නා හදා ගන්න නොවින්ද දුකක් නෑ. මගේ උකුල් ඇටේ කැඩිලා. ඇවිදින්න බෑ. කකුලේ සතෙක් කාලා තුවාලයක් හැදිලා. මේ ලෙඩ හොඳකර ගන්න තරම් සල්ලි නෑ. ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්ත දරුවෝ දෙන්නාගේ ක්‍රීඩා දක්ෂතා දැක්ක ගුරු නෝනා කෙනෙක් දරුවෝ දෙන්නා අකුරුම්බොඩ ඉස්කෝලෙට ගිහිල්ලා භාර දුන්නා. දුවන තරගයකින් දරුවො දෙන්නා දිනලා නිසා ගමට ආඩම්බරයක් කියලා සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උත්සවයක් (2015 වර්ෂයේ) තිබුණා. ඒ උත්සවයේදී ගමේ අය ඉදිරියේ ප්‍රාදේශීය ලේකම්තුමා දරුවන් දෙන්නට පර්චස් දහයක ඉඩම් ඔප්පු දෙකක් දුන්නා. සේරුවිල නගරයේ පොලිසිය ළඟින් ඉඩම් කෑලි දෙක දුන්න හින්දා ඒ ගැන හැමෝම කතා වුණා.

ඉඩම් කෑලි දෙක ගන්න මම ප්‍රාදේශීය ලේකම්තුමා මුණගැහෙන්න යනවා. මට ඇවිදින්න බෑ. ප්‍රාදේශීය ලේකම්තුමා උඩ තට්ටුවේ ඉන්නේ. ඒත් වාරු ගහගෙන හරි උඩ නඟිනවා. දැන් කියනවා පොරොන්දු වුණ තැනින් දෙනවා කිව්ව ඉඩම් කෑලි දෙක දරුවන්ට දෙන්න බෑ වෙන තැනකින් දෙන්නම් කියලා. ප්‍රාදේශීය ලේකම්තුමා කියනවා දරුවන් දෙදෙනාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාට පස්සේ ඉඩම් කච්චේරියට කැඳවලා ඉඩම් කෑලි දෙක දෙන්නම් කියලා. ගමේ අය හිතන්නේ දරුවන්ගේ දක්ෂකම් දැකලා ආණ්ඩුව ඉඩම් කෑලි දීලා ඉවරයි කියලා. ඒත් ඉඩම් කෑලි දෙක දරුවන්ට දීලා නෑ මහත්තයෝ."

එස්. පී. පේමලාල් (පියා) - "පොඩි පුතා කවපෙත්ත ලොකු දුරකට විසි කරපු හින්දා රුපියල් විසිදහසක ලොකු චෙක් එකක් දුන්නා. මේ තියෙන්නේ ඒ දුන්න චෙක් එක. ජනාධිපතිතුමා අතින් තමයි කොල්ලා ඒ චෙක් එක ගත්තේ. ඒ චෙක් එකේ සල්ලි පුතාගේ බැංකු පොතට දානවා කිව්වා. ඒත් තවම දාලා නෑ. පොඩි පුතා ඒ සල්ලි අරගෙන ෆෝන් එකක් ගන්න හිටියේ. ඒත් සල්ලි ලැබුණේ නැති හින්දා පුතා දුක් වුණා. පස්සේ මම කුලී වැඩ කරලා කොල්ලාව සනසන්න ෆෝන් එකක් අරන් දුන්නා. ඒ පොටෝ එකේ ජනාධිපතිතුමා ඉන්න හින්දා ඒක රාමු කරලා බිත්තියේ එල්ලුවා. පොටෝ එක බලන අයට කියන්නේ ඒ සල්ලි හම්බ වුණා කියලා. ඇයි පොටෝ එක බලන මනුෂ්‍යයාට කිව්වොත් දුන්නෙ නෑ කියලා එයා හිතනවානේ කරලා තියෙන අපරාධය කියලා.

දරුවෝ දෙන්නා ලොකු පෙරහරින් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා ගමේ ඉස්කෝලෙට (දේවත්ත මහා විද්‍යාලය) එක්කගෙන ආවේ. දරුවන් දෙන්නා ගෙදරට එක්කගෙන එන්න පාරක් නෑ. ඊට පස්සේ නිලධාරින් දඩිබිඩි ගාලා පාර හැදුවා. පාර හැදුවේ කොහොමද? පාරේ බෝක්කු බටේ කැඩිලා. ඊට පස්සේ මගේ ගෙදර තිබුණ ටකරන් දෙකක් දාලා බෝක්කුවේ කැඩිච්ච කට වහලා පස් දැම්මා. දැන් පස් හේදීගෙන ගිහිල්ලා ටකරන් දිරලා. මේ දරුවෝ දෙන්නා රෑ පානේ ගෙදර එනවා. වැහි කාලෙට දරුවන්ගේ අම්මාට බෙහෙත් ගන්න පාරට උස්සගෙන යන්න ඕනි. රටට කීර්තියක් ගෙන දෙන දරුවන්ගේ ජීවිතය ඔහොම තමයි මහත්තයෝ."

මෙම දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනාට ඉඩම් කැබලි දෙකක් දෙන බවට දුන් පොරොන්දුව ගැන සේරුවිල ප්‍රාදේශීය ලේකම් ජී.එම්. ජයරත්න මහතාගෙන් ඊයේ (15දා) 'මව්බිම' කළ විමසීමේදී "දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු දහඅට අවසන් වෙලා නැහැ. අවුරුදු දහඅට සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඉඩම් කච්චේරියකට කැඳවලා බලපත්‍රයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. සේරුවිල ටවුමේ තියෙන ග්‍රාමසේවා වසමෙන් තමයි ඉඩම් දෙන්න පුළුවන් වෙන්නේ" යැයි පැවැසීය.

ඉනාමළුවේ - තිලක විජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon