සුරංගනා කතා කියලා බලය ගත්ත ආණ්ඩුව ජනතාවට පාට පාට භූමිතෙල් දෙන්න හදනවා

  👤  4376 readers have read this article !
By mawbima 2018-05-16

ගොනා පසුපස කරත්තය පැමිණෙන්නා සේ තෙල් මිල ඉහළ දැමීමත් සමඟ ප්‍රශ්න රැසක්ම ඒ පසුපසින් පැමිණ උග්‍ර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි, රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔහු මේ බව පැවැසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා

මෙසේද පැවැසීය.

අද තෙල් මිල ඉහළ දැමීමත් සමඟ ඉහළ ගිය භූමිතෙල් මිල නිසා මේ රටේ ධීවර ජනතාව විශාල ගැටලුවකට මුහුණපාලා තියෙනවා. විශේෂයෙන්ම සුළු ධීවර ජනතාව මත්ස්‍ය සම්පත මෙරටට ගෙනත් මෙරට ආර්ථිකයට ලොකු ශක්තියක් වන පිරිසක්.

භූමිතෙල් මිල ඉහළ දාලා මේ ජනතාව අසරණ කරපු ආණ්ඩුව දැන් කියනවා ධීවරයට සහනයක් දෙනවා කියලා. මේ සහනාධාරය ක්‍රියාත්මක වන්නේ කෙසේද..? මේවා සැබෑවටම ඒ ධීවරයාගේ එන්ජිමේ බෝට්ටුවට වැටෙන ක්‍රම නෙවෙයි. මේකත් ආණ්ඩුවෙ කොහෙහරි ඉන්න හෙංචයියෙක්ගෙ සාක්කුව පුරෝගන්න ක්‍රමයක් බවට පරිවර්තනය වෙයි. මේක තමයි ඇත්ත කතාව. අන්තිමට ධීවරයට වෙන්නෙ වැඩිකරපු මුදලටම භූමිතෙල් ටික ගහගෙන ගිහිල්ලා පුරුදු විදියට තමුන්ගෙ රස්සාව කරගන්න. අවසානය වෙන්නෙ රටේ මාළු මිල ඉහළ යෑම.

විෂය භාර ඇමැතිවරයා කියනවා පාට පාට භූමිතෙල් ලබාදෙනවා කියලා. කොහොමත් ඔවුන් රටේ මිනිසුන්ට පාට පාට ලෝකයක් තමයි පෙන්නලා තියෙන්නේ. සුරංගනා ලෝකයක් පෙන්නලානේ ඔවුන් බලයට ආවේ.

එක පැත්තකින් ධීවරයා අසරණයි. අනිත් පැත්තෙන් සුළු ගොවි ජනතාව අසරණයි. මේ සුළු ගොවීන්ගේ යන්ත්‍ර උපකරණ බොහොමයකට භාවිත කරන්නේ භූමිතෙල්.

ඒ වගේම මේ ආණ්ඩුව 2015 ජනවාරි 08 බලයට ආවේ වතුකර ජනතාවගේ ඡන්දය අරගෙන. හංසයාට ඔවුන්ගේ ඡන්ද ටික පාවිච්චි කරගෙන නොයකුත් බොරු කියලා ඒ ජනතාව මුළා කරලා ආපු ආණ්ඩුවක් මේක. වතුකර ජනතාවගෙන් වැඩි බහුතරයක් ඡන්දය ලබාදුන්නේ මේ යහපාලන ආණ්ඩුවට. අද යහපාලන ආණ්ඩුවම ඔවුන්ගේ බෙල්ල මිරිකලා තියෙනවා. දවසෙ තේ දලු කඩලා හම්බකරන පඩිය රුපියල් 500යි. හාල් කිලෝ 1ක් රුපියල් 100යි. භූමිතෙල් ලීටරයක් රුපියල් 100න් එහාට ගිහිල්ලා. පොල් ගෙඩියක් රුපියල් 100යි.

එතකොට මේ වතුකරේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද..?

වතුකරේ ජනතාව නියෝජනය කරන දේශපාලන නියෝජිතයෝ රැසක් අද ඇමැතිකම් දරනවා. අපි ඔවුන්ගෙන් අහනවා මේ තේ දල්ල නෙළලා ජීවත් වන මේ අහිංසක අම්මාට තාත්තාට කරන සාධාරණය මේකද..? කැබිනට් එක ඇතුළෙ ඉඳගෙන භූමිතෙල් වැඩි කරන්න අත උස්සපු එකද ඒ සාධාරණය..?

ඔවුන් තමන්ගේ ජනතාවට ආදරෙයි නම් විරුද්ධ විය හැකියි. නමුත් විරුද්ධ වෙන්නෙ නෑ. ඒකට ඔවුන්ට කොන්ද පණ නැහැ.

ඊළඟ අර්බුදය බස් ගාස්තු. බස් සංගම් ගිහිල්ලා ඒ ගැන සාකච්ඡා කළා. සාකච්ඡා අසාර්ථකයි. ආණ්ඩුව මේක දෙපැත්තට ඇදලා අවසානෙ බස් ගාස්තු වැඩිවෙනවා.
දැන් ඉඳගෙන මුදල් ඇමැතිවරයා කියනවා ඉන්ධන මිල වැඩි කිරීමෙන් ලැබෙන ලාභයෙන් ගම් හදන්න ගම් පෙරළිය කියලා අලුත් වැඩසටහනක් කරනවලු. මේ ගම්පෙරළිය කරන්න තමයි භූමිතෙල්, ඩීසල්, පෙට්රල්, වැඩි කරලා තියෙන්නේ.

කතාව නම් හරියට හරි. ගම්පෙරළිය නම් හරියටම වෙලා තියෙනවා. 2018 පෙබරවාරි 10 වැනිදා මිනිස්සු හොඳටම ගම් පෙරළිය පෙන්නුවා. ගමේ මිනිස්සු කා එක්කද ඉන්නෙ. ගමේ මිනිස්සු මේ ආණ්ඩුවට කැමැතිද නැත්ද කියන එක හොඳටම පෙන්නුවා.

නමුත් අපි හිතුවෙ 2015 ඉඳන් මේ දක්වා ජනාධිපතියි අගමැතියි විදෙස්ගත වෙලා ගහපු ගිවිසුම්, ලබාගත් ණය දිහා බලද්දී මේ රටේ මෙච්චර ප්‍රශ්න ඇතිවෙන්නෙ කොහොමද කියලා. මොකද ජනාධිපති ගිහින් එද්දි අගමැතිතුමා යනවා. මේ අරන් එන්න යන ප්‍රතිලාභ ප්ලේන් එකේදි හැලෙනවද..?

මෙහිදී අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා

ඉන්ධන මිල ඉහළ යෑම නිසා වැඩිම හානිය සිදුවෙලා තියෙන්නෙ සුළු පන්න ධීවර කර්මාන්තකරුවන්ටයි. ඉතා ඉක්මනින් මේ ධීවරයන්ට, සහනාධාර කූපන් නැත්තම් ටෝකන් ලබා දෙනවලු. මේ ධීවරයො කියන්නෙ මොකක්ද කියලා ඔවුන් හිතන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ මේ සහනාධාරය එපා. කූපන් එපා කියලයි. ඔවුන් පැහැදිලිවම ඉල්ලන්නෙ පැරැණි විදියටම තමන්ගේ රැකියාව කරගෙන යන්න ඉන්ධන නිකුත් කරන්න කියලා. මේක තේරෙන්නේ නැති ගොන් ඇමැතිවරු කියනවා සහනාධාර දෙනවා කියලා. මේකයි ඉස්සෙල්ලම විසඳගන්න ඕන.

ධීවරයා මේක කියන්න හේතුවක් තියෙනවා. ධීවර රැකියාව පිළිබඳ දැනුම ඔවුන්ට තියෙනවා. අගමැති, ජනාධිපති, මුදල් ඇමැති, ධීවර ඇමැතිලාට මේ ධීවරයා ගැන ධීවර රස්සාව ගැන දැනුමක් නැහැ. සුළු ධීවරයා රැකියාව කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් එක ක්‍රමයක් වන යාන් රස්සාවට තමයි තෙල් අඩුවෙන්ම යන්නෙ. දැල් රස්සාව ගත්තොතින් ඊට අවශ්‍ය තෙල් ඊට වඩා වැඩියි. බටලෝන් රස්සාවට ඊටත් වැඩියි. තෝර රස්සාවට ඊටත් වඩා තෙල් ඕන. ඉතින් ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය අනුව අවශ්‍ය තෙල් ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද...? ඒ නිසා තමයි ගිය ආණ්ඩුව කාලේ තෙල් මිල වැඩිවුණහම ඔවුන් සහනාධාර එපා කියලා උද්ඝෝෂණය කළේ.

කෑගැහුවේ. ඒ නිසායි මේ ආණ්ඩුව පත්කරගන්න ධීවරයෝ ඡන්දෙ දුන්නේ. අද ඔවුන්ටම කෙළලා තියෙනවා. අපි පැහැදිලිවම මේ ආණ්ඩුවට කියනවා වැඩි කරපු එක අඩුකරලා ධීවරයො බලාපොරොත්තු වන විදියට ගිහිල්ලා තමන්ගේ රැකියාව කරගත්ත භූමිතෙල් ටික මිලට ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා.

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon