ආයෝජන ප්‍රමාණය හා අපනයන ආදායම වසරින් වසර ඉහළ යනවා

  👤  4381 readers have read this article !
By mawbima 2018-05-16

මෙරට වැඩිම ආයෝජන ප්‍රමාණය සහ අපනයන ආදායම වාර්තා කිරීමට හැකි වූයේ 2017 වසරේදී බවත් මේ තත්ත්වය මින් ඉදිරියට අඛණ්ඩව වර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (14දා) පැවැසීය.

පසුගිය වසරේදී ඩොලර් මිලියන 1900ක පෞද්ගලික ආයෝජන ලබාගැනීමට හැකි වූ බව පැවැසූ ඒ මහතා මෙවැනි ආයෝජනයක් මීට පෙර පෞද්ගලික, සේවා සහ නිෂ්පාදන අංශවලට ලබාගැනීමට නොහැකි වූ බව සිහිපත් කළේය.

රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා බඳවා ගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදී මේ බව සඳහන් කළ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.

ඔබ රජයේ සේවයට ඇතුළත් වෙනවා යනු ජනතා සේවයට කැපවෙනවා යන්නයි. මෙම අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලෙස හඳුන්වන්නේ එම නිසායි. රාජ්‍ය පරිපාලන සේවයෙන් යහපතක් සිදුවන්නේ රටේ ජනතාවටයි. එහි ක්‍රියාත්මක වන්නේ රටේ වත්මන් පාලකයාගේ හෝ ආණ්ඩුවේ පාලනය නොවේ. එය ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ජනතාව වෙනුවෙනුයි. පරිපාලන සේවා මඟින් සිදුවන්නේ ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධතාවක් ගොඩනැඟීමයි.

ඇමෙරිකාව වැනි රටවල්වල ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් රැකියා කරන්නේ පෞද්ගලික අංශවලයි. ඇමෙරිකාවේ වැඩිම රජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සේවය කරන්නේ ආරක්ෂක අංශයේ පමණයි. චීනය, වියට්නාමය වැනි රටවලත් බහුතරයක් පිරිස රැකියා කරන්නේ පෞද්ගලික අංශයේයි. ඒ තුළින් ඔවුන් විදේශ විනිමය ලබාගනිමින් අපනයන හරහා ආර්ථික වර්ධනය කරගන්නවා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ තිබෙන රැකියා ප්‍රශ්නය විසඳීමට නම් රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවිය යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශයේ රැකියා ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒවා අර්ථසාධක අරමුදල් හිමි රැකියා බවට පත් කළ යුතුයි. එමෙන්ම ස්වයං රැකියා, කෘෂිකර්මාන්ත, ධීවර කර්මාන්තය ආදියට අප ආධාර උපකාර කළ යුතුයි. මෙම කටයුතු සාර්ථකව ඉටු කරනවා නම් රැකියා ඇති කරමින් ආර්ථිකය සංවර්ධනය කිරීමට අපට අවස්ථාව හිමිවෙනවා.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ආයෝජනයන් ලැබුණේ නැහැ. එම නිසා රට දියුණුව කරා ගෙනයෑම අපහසු වුණා. 2015 අප බලයට පත් වූ විගස අපට සිදු වුණේ ණය ගෙවීමයි. පෞද්ගලික ආයෝජකයන් අපේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ශක්තිය තිබෙනවා නම් පමණයි. 2015 වසරේ ලැබුණු ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අද අපේ රටේ ආදායමෙන් ණය ගෙවීමටත් සංවර්ධනය සඳහා මුදල් යෙදවීමටත් හැකියාව ලැබී තිබෙන බව පැවැසිය යුතුයි. එය ඉතා අපහසු කටයුත්තක්. විශාල ණය කන්දරාව නිසා සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් සීමා වෙනවා. කෙසේ වුවත් පසුගිය වසරේ ඩොලර් මිලියන 1900ක පෞද්ගලික ආයෝජන ලබාගැනීමට අපට හැකි වුණා. එය ආරම්භයක් පමණයි. මීට පෙර මෙවැනි ආයෝජන ශ්‍රී ලංකාවේ නොතිබූ නිසා ඒ පිළිබඳව සතුටට පත්විය හැකියි.

ඩොලර් මිලියන 1900ක ආයෝජනයක් පෞද්ගලික අංශයට, සේවා අංශයට, නිෂ්පාදන අංශයට මීට පෙර ලැබී නැහැ. එසේ නම් වැඩිම ආයෝජන ප්‍රමාණයක් අපට ලැබුණේ 2017 වසරේදීයි. වැඩිම අපනයන ආදායම ලැබුණේත් 2017 වසරේදීයි. වැඩිම අපනයන සහ පෞද්ගලික ආයෝජන ලැබුණේ 2017 වසරේදී බව කිව යුතුයි. 2018 වසරේදී මේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. 2019 වසර වන විට තව තවත් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

2017 සිට 2020 දක්වා අපේ ආයෝජන වැඩි කරන්නත්, අපනයන වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා.
අප පියවර දෙකක් ගෙන තිබෙනවා. පෞද්ගලික අංශයේ වේතනයද රාජ්‍ය අංශයට සමාන කිරීම අපේ අරමුණයි. පළමු වසර 5-6 වන විට ඒ වැටුප වැඩි කිරීමට හැකියාව ලැබේවි. බොහෝ දෙනකුට යොවුන් සේනාංක තුළින් පළමු පුහුණුව ලබාදී ඉන් පසුව පෞද්ගලික අංශයට යොමු කොට හොඳ රැකියා ගණනාවක් ලබාදීමට කටයුතු කරනවා.

අද කළමනාකරණ සහකාර සේවයට ඇතුළු වී හොඳ වේතනයක් ලබාගන්වා සේම යොවුන් සේනාංකයට ඇතුළු කර පුහුණුවක් ලබාදීම අපේ අරමුණයි. මේ වන විට ඒ සංවර්ධන යුගය ආරම්භ කර තිබෙනවා. ණය ගෙවීමේ කටයුතු සඳහා වසර දෙකක කාලයක් ගත වුණා. නියඟ, ගංවතුරවලට මුහුණ දුන්නා. නමුත් අපේ ආර්ථික වේගය කඩා වැටුණේ නැහැ. එම නිසා අපට දැන් ඉදිරියට යෑමට හැකි වී තිබෙනවා.

විශ්වාසයක් ඇතිව, ශක්තියක් ඇතිව ඉදිරියට යෑමට හැකියාව තිබෙනවා. ඒ වැඩකටයුතු තවත් ශීඝ්‍ර කිරීමට නම් රජය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ තවත් වේගවත් කළ යුතුයි. එම වේගවත් ගමන කළමනාකරණ සහකාර සේවයට බැඳෙන ඔබ සියලු දෙනාට භාරයි. ඔබ අපට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා නම් දැන් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ තවත් වේගයෙන් ඉදිරියට ගෙන යෑමට හැකියාව තිබෙනවා.

එක් පැත්තකින් රජයේ රැකියා මෙන්ම අනෙක් පැත්තෙන් පෞද්ගලික අංශයේ රැකියා බිහි කරන අතරම ස්වයං රැකියා ක්‍ෂේත්‍රය දියුණු කොට වැඩි මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා. විශාල ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය ලබාදීමට බැංකුවලට ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩි කර වෙනම සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට අප ක්‍රියා කරනවා. ආයෝජන වැඩි කර පෞද්ගලික අංශයේ රැකියා ලබා දෙනවා. එමෙන්ම ස්වයං රැකියා කරන අයට මුදල් ලබා දෙනවා. ප්‍රාග්ධනය දියුණු කිරීම සඳහා මුදල් යොදවනවා. තේ, රබර්, පොල්, කොකෝවා, කුරුඳු ආදී වගා සඳහා ආධාර ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර
අද රාජ්‍ය සේවයට 4511ට පත්වීම් ලබාදෙනවා. කළමනාකරණ සේවා විභාගයට පෙනී සිටි 67,000ක් පමණ වූ පිරිසක් අතුරින් විශිෂ්ට ලෙස සමර්ථය ලැබූ 4511ක් රාජ්‍යය සේවයට බඳවා ගනු ලැබුවා. මේ වන විට අපට දිනකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබාදෙන මෙන් කරන ලද ඉල්ලීම්. අයැදුම්පත් හාරසිය ගණනක් ලැබෙනවා. රටේ උපාධිධාරීන් හතළිස් දාහකට ආසන්න පිරිසක් රජයේ රැකියා බලාපොරොත්තුවෙන් සිටිනවා.
රාජ්‍ය සේවය හකුළා දැමීමට අපි කටයුතු කරන බවට රජය අඩපණ කිරීමට උත්සාහ දරන පිරිස් අපට චෝදනා කරනවා. අපට එවැන්නක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ රටේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගෙන යෑමටයි.

රටේ ජනතාවගේ බදු මුදලින් රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්නේ. ජාතික ආදායම බිලියන දෙදහසක් වන විට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන අටසියයක් වැය කිරීමට අද රජයට සිදුව තිබෙනවා. බදු මුදලින් තමයි රාජ්‍ය සේවකයාට වැටුප් ලැබෙන්නේ. එහෙයින් මහජනතාවට කාර්යක්ෂම සේවයක් උපරිම සේවයක් ලබාදීම ඔබේ යුතුකමයි.

රට දියුණු කිරීමට කාර්යක්ෂම විනයගරුක වංචා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඒ සඳහා ශක්තිමත්ව කැපවීමෙන් සිය කාර්යභාරය ඉටු කරන්න කියා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon