‘යුද ජයග්‍රහණ දින’ ආණ්ඩුවේ උත්සවය මේ රටේ සියලු දෙනා වර්ජනය කළ යුතුයි

  👤  4504 readers have read this article !
By mawbima 2018-05-16

විජයග්‍රහණ සැමරුම නවතා ඒ වෙනුවට ත්‍රස්තවාදීන්ද ඇතුළු යුද්ධයෙන් මියගිය අය සිහිකිරීමට ආණ්ඩුව විසින් පවත්වනු ලබන උත්සවයට සහභාගි වීමෙන් වළකින ලෙස රණවිරු සංවිධානයේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වීරසේකර මහතා මෙම ඉල්ලීම කළේ ජාතික සංවිධාන එකමුතුව විසින් රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන කාර්යාලයේදී ඊයේ (15දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය වසර තිහක් තිස්සේ අපේ රට සිය ග්‍රහණයට නතු කරගෙන සිටියා. භීෂණය පැතිරෙව්වා. වීරෝදාර රණවිරුවන් විසිනව දහසකගේ ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද වසර තිහක යුද්ධය ජයග්‍රහණයෙන් කෙළවර වුණේ 2009 වසරේ මැයි 18 වැනිදායි. ගැටුම්වලින් පූර්ණ ආබාධිත වූ සෙබළුන් පහළොස් දහසක් තවමත් අප අතර සිටිනවා.

පරම්පරාවක ජන ජීවිතයත්, අනාගතයත්, රටේ ආර්ථිකයත් විනාශ කර දමන ලද ත්‍රස්තවාදය පරාජය කොට විජයග්‍රහණය ලැබූ දිනය අපි කාටවත් අමතක කරන්න බැහැ. අමතක කළ යුතු නැහැ. අපි හැමෝම අද නිදහසේ ජීවත්වන්නේ විරුවන් කළ කැපකිරීම් නිසයි. රණවිරුන්ව අපේ මතකයෙන් අෑත් වෙනවා නම් අප ඉබේම කළගුණ නොදත් ජාතියක් බවට පත්වෙනවා.

පසුගිය ආණ්ඩුව මැයි 18 වැනි දින යුද විජයග්‍රහණ සැමරුමක් පැවැත්වූවා. විරුවන්ගේ කැපකිරීම් සහ ජයග්‍රහණය වසරකට එක දවසක්වත් මතක් කිරීම වටිනවා. එමඟින් අප තුළ දේශාභිමානයක් ඇති වෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්වූ ගමන් යුද විජයග්‍රහණ සැමරුම නවතා දැමුවා. රණවිරුවන්ව අත්අඩංගුවට ගෙන හිරිහැර කළා. අති දක්ෂ හමුදා නිලධාරීන්ව හිරේ දැම්මා. ආබාධිත සෙබළුන්ට මහ පාරේ බිම දාගෙන පහර දුන්නා. අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ පනත ආදී පනත් සම්මත කර ගනිමින් රණවිරුවන්ට දඬුවම් ලබා දීමට අවශ්‍ය පරිසරය සකස් කළා. රට බේරාගත් හමුදා නායකයන් වූ අපට මේවා දකිද්දී ඇතිවන්නේ කිව නොහැකි තරම් දුකක්.
මැයි 18 වැනි දින පවත්වපු වියජග්‍රහණ සැමරුම නවතා දමා ඒ වෙනුවට එදින පාර්ලිමේන්තුව අබියසදී යුද්ධයෙන් මියගිය හමුදා නිලධාරීන් සමඟම මියගිය ත්‍රස්තවාදීන්ව ද සමරනවා. තමන්ට කියා ආත්ම ගරුත්වයක් තිබෙන රණවිරුවකුට මේ උත්සවයට සහභාගි වෙන්න බැහැ. ආණ්ඩුව විජයග්‍රහණ සැමරුම අවලංගු කරද්දී කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රභාකරන්ගේ පිළිරුවකුත් සාදා කොටි විරු සැමරුමක් කරනවා.

ජාතික සංවිධාන එකමුතුව විසින් අනුරාධපුරය ගල්ගමුව සංගප්පාලය නමැති ගමේදී රණවිරු විජයග්‍රහණ සැමරුම් උත්සවයක් මැයි 18 වැනි දින පෙරවරු 10ට පැවැත්වීමට කටයුතු සංවිධානය කරලයි තිබෙන්නේ. ත්‍රිවිධ හමුදාවට වැඩිම පිරිසක් බැඳී තිබෙන්නේ සංගප්පාලය කියන මේ අති දුෂ්කර ගම්මානයෙන්. ඒ ගම්වැසියන්ටද උපහාරයක් වශයෙන් පවත්වන මේ විජයග්‍රහණ සැමරුමට දිවයිනේ පළාත් රැසකින් රණවිරුවන් දෙදහසකට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතයි.

බෙංගමුවේ නාලක හිමි, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ දේශීය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

සපුමල් ජයසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon