පසුගිය අවුරුදු තුනේදී තෙල් මිල වරින්වර වෙනස් කළේ නම් ජනතාවට පීඩාවක් නැහැ

  👤  4436 readers have read this article !
By mawbima 2018-05-16

ආණ්ඩුව පසුගිය අවුරුදු තුන ඇතුළත ඛනිජ තෙල් මිල විටින් විට වෙනස් කෙළේ නම් ජනතාව මෙතරම් පීඩාවට පත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

එක්වරම ඛනිජ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පීඩනයට පත්ව ඇති අතර ආණ්ඩුව වහාම මැදිහත් වී ජනතාවට සහන ලබාදීමට කටයුතු කළ යුතු බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (15දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

තෙල් මිල කියන්නේ ලංකාවේ තිබෙන විශාලතම ආනයන බිල. මේ බිල ගෙවද්දී ලංකාවේ බැංකු පද්ධතිය දෙදරුම් කනවා. 2012, 2013, 2014 කියන වර්ෂ තුනේම තෙල් බැරලයක මිල ඉහළ ගිහින් තිබුණේ. නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණෙන විට තෙල් මිල කඩාවැටීම පිළිබඳව බලනවිට හොඳින්ම පෙනෙනවා තෙල් මිල කෙතරම් පහත වැටී තිබෙනවාද කියලා. 2015 මහ බැංකු වාර්තාවේ මහින්ද රාජපක්ෂ යුගයේ සහ වත්මන් ආණ්ඩුව සමයේ තෙල් මිල කඩා වැටීම පිළිබඳ ප්‍රස්තාර මඟින් පෙන්වා දීලා තිබෙනවා. අහස උසට නැඟලා තිබුණු ඛනිජ තෙල් මිල මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් 36.38ක් දක්වා පහත වැටුණු බව එම වාර්තාවේ සඳහන් වී තිබුණා. දැවැන්ත වාසියක් මේ ආණ්ඩුවට ලැබුණා. ඒ නිසා ඇති වූ වාසිය තමයි වර්ෂයකට ඛනිජ තෙල් ආනයනය කිරීමට මහින්ද රාජපක්ෂ යුගයේ ඇ.ඩො. බිලියන 5ක් හෝ ඊට වැඩියෙන් වැය වූ මුදල 2015, 2016 සහ 2017 වර්ෂවලදී ඇ.ඩො. බිලියන 2.4ක් දක්වා අඩු වෙලා තිබෙනවා.

ඉන් විදේශ විනිමය මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඇ.ඩො. බිලියන 5.1ක් ඉතුරු වෙලා තිබෙනවා. මේ ඉතුරු වෙච්ච මුදල නිසි ලෙස කළමනාකරණය කළා නම් හම්බන්තොට වරාය විකුණා දමන්න අවශ්‍ය වන්නේ නැහැ. මොකද හම්බන්තොට වරාය විකුණලා ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4යි. මේ මුදල තිබුණා නම් මධ්‍යම අධිවේගී මාර්ගයට වැයවන ඇ.ඩො. බිලියන 1ක මුදල ගන්න වෙන්නෙත් නැහැ. මේ මුදල තිබුණා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. මේ හැම දේකටම මුල ආර්ථික කළමනාකරණයේ වැරැද්ද. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් තිබෙන නොහැකියාව මේ ආණ්ඩුව විසින් පිළිගත යුතුයි.

මහින්ද රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් මිල ඉහළ යෑම ජනතාව මත පටවන්නේ නැතිව, ජනතාවට සහන ලබාදෙන්න ගිහින් 2011දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය බිලියන 94.5, 2012දී අලාභය බිලියන 89.7යි. 2013දී අලාභය බිලියන 7.9යි. වැඩි මිලට තෙල් ගෙනැවිත් සහන මිලට තෙල් ලබාදීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ සමයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ මුළු අලාභය බිලියන 191යි.

2014 වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල යහපත් අතට හැරුණා. එහිදී අපි දෙවරක් තෙල් මිල අඩු කළා. එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 7.9ක ලාභයක් ලැබුවා.

2015දී යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු බිලියන 18.4ක් ලාභ ලැබුවා. 2016දී බිලියන 69.6ක් ලාභ ලැබුවා. 2017දී ලාභය බිලියන 5.1යි. 2017දී ලාභය අඩුවෙලා. ආණ්ඩුවේ කවුරු හරි ලාභය අඩුවීමට හේතුව පිළිබඳව වගකීමෙන් පිළිතුරක් ලබාදිය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්

ඛනිජ තෙල් මිල ඉහළ යෑමත් සමඟ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබෙන්නේ. ධීවර ජනතාව කියනවා මුහුදු යන්න බැහැ කියලා.

ඉෂාරා සිල්වා

ඡායාරූප - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon