2019 සිට සාමාන්‍ය පෙළ සියලු දරුවන්ට උසස් පෙළ වරම්

  👤  4305 readers have read this article !
By mawbima 2018-05-16

දයා පෙරේරා

"රටේ කිසිදු දරුවකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කරන්නේ නැහැ. 2019 වසරේ සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව සලසා දී 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කරනවා" යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සහතික වෙයි.

අනාගත රැකියා වෙළෙඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමු කිරීම රජයේ අරමුණයි. විභාගයක් යනු මතකය මැන බලන එක් ක්‍රමයක් වන නිසා, දරුවන්ගේ අනාගතය ඒ මත තීරණය කරනු වෙනුවට පිරුණු හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් ගොඩනැඟිය හැකි තැනක් බවට පාසල් පරිවර්තනය කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ හමුවකට එක්වෙමින් අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය.

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගතිය සමාලෝචනය සහ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පැවැති මෙම විශේෂ හමුවේදී අදහස් පළ කළ ඇමැතිවරයා, "අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සම්බන්ධව විවිධ විවේචන, චෝදනා, මතවාද පැවැතුණත් ලොව පිළිගත් අධ්‍යාපනඥයන් විසින් සිදුකරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළා."

"අනාගත රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය හැකියි. එම වෙනස්වීම්වලට ගැළපෙන පරිදි වෘත්තීය හැකියාවන් සන්නද්ධ කරගත් දරුවන් ඉදිරියේදී පාසල් පද්ධතියෙන් බිහිකළ යුතුයි."

"දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නවලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිතව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වාදී තිබෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියරේදී පාසල් 42ක සිසුන් හාරදහසකට අධික සංඛ්‍යාවකට වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණා. දෙවැනි අදියරේදී පාසල් 150ක සිසුන් 14,000කට අධික පිරිසකට මේ අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා."

"ඒ අනුව දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 192ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා."

"මේ සඳහා ගුරුවරු 2,100ක් මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එම ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ වැඩසටහන වෙනුවෙන් මෙවර අය වැයෙන් රුපියල් මිලියන 3600ක් වෙන් කර තිබෙනවා. පන්ති කාමර පහසුකම්, ගොඩනැඟිලි පහසුකම් සහ ප්‍රමාණවත් ගුරුවරුන් සම්බන්ධව මතුවන ගැටලු සහ අභියෝගවලට ඒ හරහා විසඳුම් ලබාදීමට හැකි වෙනවා."

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon