හැඩඔය සැඩ වෙයි දියට වැටුණු 5ක් බේරාගෙන: එක් අයකු තවමත් අතුරුදන්

  👤  4266 readers have read this article !
By mawbima 2018-05-16

මොනරාගල - සංජීව බණ්ඩාර
වෙල්ලස්ස - සේපාල
බුත්තල - නයන කුමාර

සියඹලාණ්ඩුව පොලිස් වසමේ, දෙමටබැද්ද මාරිඅරාව මාර්ගයේ හැඩඔය මතින් ඇති කෝසුවට උඩින් අඩි 04ක් පමණ උසට ජලය ගලද්දී කෝසුව හරහා ගමන් කිරීමට උත්සාහ කළ ට්‍රැක්ටර් රථයක් හැඩ ඔයට පෙරළී එහි ගමන්ගත් පුද්ගලයකු අතුරුදන් වී ඇතැයි සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.
මේ අනතුරෙන් තවත් පස් දෙනකුගේ ජීවිත බේරාගෙන ඇත්තේ ඉතා අසීරුවෙන් බව අනාවරණය වී තිබේ.

හැඩඔයේ දියපහරට හසුව මෙසේ අතුරුදන්ව ඇත්තේ බදුල්ල කොබෝවත්ත, කුට්ටියගොල්ල ලිපිනයේ පදිංචිව සිටි කන්නන් ලෙස හඳුන්වන දමිළ තරුණයෙකි.

මොනරාගල හා ඒ අවට ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැඩඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් දෙමටබැද්ද, මාරිඅරාව මාර්ගය හරහා හැඩඔය මතින් ඇති කෝසුවට ඉහළින් ජලය ප්‍රචණ්ඩ ලෙස ගලා බසින බවත් එවැනි මොහොතක මෙම ට්‍රැක්ටර් රථය කෝසුව හරහා ගමන් කිරීමට යෑමේදී මේ අනතුර සිදුව ඇති බවත් සියඹලාණ්ඩුව පොලිසියේ ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවැසීය.

අනතුර සිදුවන මොහොතේ ට්‍රැක්ටර් රථය තුළ රියැදුරු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු සිට තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ මෙතෙක් හෝඩුවාවක් නොමැති බවත් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

හැඩඔයට පෙරළී ඇති ට්‍රැක්ටර් රථය හා ටේලරයද මෙතෙක් ගොඩගෙන නැති බවත් හැඩඔයේ ජල මට්ටම වැඩි නිසා එය ගොඩගැනීම අසීරු වී ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩී. එම්. තිලකරත්න යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon