උඩරට වතු කම්කරුවන්ටත් භූමිතෙල් සහනය දෙන්න

  👤  4411 readers have read this article !
By mawbima 2018-05-16

හාලිඇළ - පියල් කිත්සිරි

සියයට සියයකින් භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත්වී සිටින උඩරට වතුකරයේ කම්කරුවන්ට වහාම භූමිතෙල් සහනාධාර ලබාදීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ හවුල්කාර සංවිධානයක් වන කඳුරට ජනතා පෙරමුණ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලයි.

උඩරට වතුකරයේ සියයට අසූවකට පමණ විදුලි බලය ලබාදී ඇත. වතු කම්කරු පවුල්වලින් තුනෙන් දෙකක් කෑම පිසීම සඳහා භාවිත කරන්නේ භූමිතෙල් ළිප් බව පෙන්වා දෙන කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. අරවින්ද් කුමාර් මහතා භූමිතෙල් මිල නොසිතූ ලෙස ඉහළ නැංවීම නිසා වතුකරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි සඳහන් කරයි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් එකසිය එක දක්වා ඉහළ නැංවීම නිසා මේ වනවිට වතු ආශ්‍රිත වෙළෙඳසල්වල ලීටරය අලෙවි කරනු ලබන්නේ රුපියල් 120ක් වැනි මිලකට බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ තත්ත්වයෙන් එම ජනයා මුදාගෙන වහාම ධීවරයන්ට, සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබාදෙන ආකාරයට වතු කම්කරු පවුල් සඳහාද සහන මිලට භූමිතෙල් ලබාදීමට කඩිනමින් ආණ්ඩුව පියවර ගත යුතු බවත් එසේ කිරීමට නොහැකි නම් වහාම දර හෝ සහන මිලට එම ජනතාවට ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව පවසයි.

මේ පිළිබඳව වහාම මැදිහත් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලා යැවීමට පියවර ගත් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. අරවින්ද් කුමාර් මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon