බණ අසා මළ ගෙදරක යන අතරමඟ බෙංගමුවේදී ත්‍රිරෝද රියක් අනතුරට

  👤  4383 readers have read this article !
By mawbima 2018-05-16

උෟරුබොක්ක - අතාවුද පතිරණ

බෙංගමුව දාබෝගල රොටුඹ මාර්ගයේ දාබෝගල සල් ගස ආසන්නයේදී පෙරේදා (14දා) රාත්‍රි 10.30ට පමණ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් තුන්දෙනකු එම ස්ථානයේදීම මියගොස් රියැදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව රොටුඹ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ බෙංගමුව දෙකද්දණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි සේපාල කරවිල කන්දගේ සුරංග, පස්ගොඩ උඩපස්ගොඩ පදිංචිව සිටි 50 හැවිරිදි අබේවික්‍රම කණ්ඩාවකගේ අමරපාල සහ මාතර හඳුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වීරගොඩගේ පත්මසිරි යන විවාහක පුද්ගලයන් තුන්දෙනකු බව පොලිසිය පැවසීය. ත්‍රිරෝද රථයේ රියැදුරු බෙංගමුව දෙකද්දණ්ඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිද මද්දුමගේ

පුෂ්පානන්ද නැමැත්තෙකි. බරපතළ තත්ත්වයේ සිටි ඔහු උෟරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත. මෙසේ මියගොස් සහ තුවාල ලබා ඇත්තේ ඥාති පිරිසක් වන අතර ඔවුන් පසුගිය 14 දින රාත්‍රි දම්පහල මාහේන්ගොඩ ප්‍රදේශයේ ඥාතියකු මියගොස් වර්ෂයක් පිරීම නිමිති කරගෙන පැවැති ධර්ම දේශනයකට සහභාගි වී හඳුගල ප්‍රදේශයේ සිට පැමිණි ඥාතියකුගේ ත්‍රිරෝද රථයකින් රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ හිතවතකුගේ මළ ගෙදරකට යන අතරතුර මේ අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත.

රොටුඹ මාර්ගයේ දාබෝගල සල් ගස ආසන්නයේ අධික බෑවුම් සහිත ප්‍රපාතයක් තිබෙන අතර එහි තිබෙන වංගුවක් ගැනීමට යෑමේදී ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තේ ඉඩමක පිහිටි පොල් ගසක සහ ‍ෙදාඩම් ගසක වැදීමෙන් මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පැවැසීය.

ත්‍රිරෝද රථය අනතුරට පත්ව තිබෙන ස්ථානයේ මාර්ගයේ දැඩි බෑවුම් සහිත ප්‍රපාතයක් තිබෙන අතර මෙම ස්ථානයේ සතියකට රථවාහන හතරක් පහක් අනතුරට පත්වන බවත් මාර්ගයේ තිබෙන අවදානම් තත්ත්වය පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීමට කිසිදු සංඥා පුවරුවක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් යොදා නොමැති බැවින් මෙම ස්ථානයේ නිතර නිතර අනතුරු සිදුවන බවට ප්‍රදේශවාසීන් පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් රොටුඹ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ඒ. සනත් කුමාර මහතාගේ
අධීක්ෂණය සහ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පො.සැ. විජේවර්ධන (28226) මහතා සහ පො.කො. ගුණවර්ධන (90540) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු උෟරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon