විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් පවුල් පදිංචි කර ඇද්දැයි සොයා බලන ලෙස වනජීවී ඇමැතිගෙන් ඉල්ලනවා

  👤  4732 readers have read this article !
By mawbima 2018-05-16

විල්පත්තු රක්‍ෂිතය කපා දමා මුස්ලිම් ජනතාව එහි පදිංචි කරන බවට ඇතැම් මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාර පිළිබඳව සොයා බලන ලෙස තමා නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් එසේ විල්පත්තු රක්‍ෂිතය තුළ මුස්ලිම් ජාතිකයන් පදිංචි වී සිටිත් නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට තමාද සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දක්වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවැසීය.

''විල්පත්තුව සම්බන්ධයෙන් ජාතිවාදී කණ්ඩායම්, ඇතැම් ජනමාධ්‍ය, රටේ ජනතාවගේ සහජීවනය බලා සිටීමට අකැමැති පිරිස් වගේම සිංහල ඩයස් පෝරාව බොරු ප්‍රචාර සමාජගත කරමින් ඉන්නවා. මේ කතාවල සත්‍ය අසත්‍යභාවය රටට හෙළි කරන්න කියලා මම අපේ අලුත් වනජීවී අමාත්‍ය ෆොන්සේකා මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා දක්‍ෂ නායකයෙක්. ඔහුට පුළුවන් වේවි මෙහි සත්‍යතාව හොයා ගන්න. විල්පත්තුව රක්‍ෂිතය ඇතුළේ අඟලක් හරි විනාශ වෙලා තියෙනවා නම්, මුස්ලිම් ජාතිකයන් ඉඩම් අල්ලලා නම් ඔවුන් එළවන්න මමත් අමාත්‍යවරයාට මගේ සහාය දෙනවා.

වසර තිහක් පුරා පැවැති යුද්ධයෙන් සිංහල වැසියන් මෙන්ම මුස්ලිම්, දෙමළ ජනතාවත් දැඩි ලෙස දුක් විනදා. විල්පත්තුව අවට ප්‍රදේශවල සිටි මුස්ලිම් වැසියන් කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණු පළිගැනීම්වලට ලක් වුණා. සිංහල හමුදාවලට මුස්ලිම් වැසියන් ඔත්තු ලබාදෙන බව පවසමින් පැය විසි හතරක් ඇතුළත ඒ ජනතාව තමන්ගේ වාස භූමිවලින් එළවා දැමීමට කොටි ත්‍රස්තවාදීන් කටයුතු කළා. රිෂාඩ් බදියුදීන් කියන මමත් ඒ ජනතාවත් එක්ක අනාථ කඳවුරුවල තමයි ඊට පස්සේ දිවි ගෙව්වේ.

යුද්ධය අවසන් වීමත් සමඟ ඒ ජනතාව තමන්ගේ මුල් ගම්බිම්වලට පදිංචියට ගියා. ඔවුන් තමන්ගේ ඉඩකඩම් සුද්ද පවිත්‍ර කළා. මේවා බලන් ඉන්න බැරි ජාතිවාදීන් පිරිසක් විල්පත්තුව කපනවා කියලා බෙරිහන් දෙනවා. මේ මිනිස්සු නැවත පදිංචි කිරීමට මට යුතුකමක් තියෙනවා. බංකොලොත් දේශපාලන න්‍යායන්ට වැඩ කරන පිරිසක් මේ කාරණයේදී මටත් චෝදනා එල්ල කරනවා.

ඒ නිසා මම නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ විල්පත්තුව සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ සොයා බලා එහි නිවැරැදි තත්ත්වය රටට හෙළි කරන්න කියලා''

ලක්‍ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon