මහින්දානන්දට එරෙහි නඩුව විනිසුරු මාරුව ඉල්ලීමේ පෙත්සම විභාගයට අභියාචනාධිකරණය තීන්දු කරයි

  👤  4418 readers have read this article !
By mawbima 2018-05-16

කමල් මහේන්ද්‍ර වීරරත්න

නීතිපතිවරයා විසින් තමාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව "සිල් රෙදි නඩු තීන්දුව" දෙමින් දේශපාලන මතවාදයක් ඉදිරිපත් කොට ඇති මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපිට විභාගයට ගැනීමෙන් තමාට අගතියක් විය හැකි බවට මහත් සැකයක් ඇති බැවින් එය වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට යොමු කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට ඊයේ (15දා) අභියාචනාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව එම විභාගය ජුනි මස 25 වැනි දින ආරම්භ කිරීමටද දින නියම විය.

කුමුදිනී වික්‍රමසිංහ හා එස්. තුරෙයිරාජා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එකී පෙත්සම ඊයේ විමසුමට ලක්වූ අතර ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වීය.

ඔහු විනිසුරු මඬුල්ල හමුවේ කියා සිටියේ තම සේවාදායකයා ඉකුත් පාලන සමයේ කැබිනට් ඇමැතිවරයකු වශයෙන් සිටියදී උපයාගත් රුපියල් මිලියන 27ක් යොදවා කොළඹ - 07 කිංසි පාරේ නිවෙසක් මිලදීගෙන ඇති බවත් එය මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් බවත් ප්‍රකාශ කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති බවත්ය.
එකී චෝදනාව සම්බන්ධයෙන් තමා නිවැරැදිකරු බව තහවුරු කිරීමට මගේ සේවාදායකයා වෙත කරුණු ඇති බවත්, එහෙත් මෙම නඩුව විභාගයට යොමුකර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිල් මාතාවන්ට සිල් රෙදි බෙදාදීම සඳහා මුදල් අනුමත කරන ලදැයි වත්මන් රජය ඉදිරිපත් කළ චෝදනාවට වරදකරු කරමින් ඔහුට සිරදඬුවම් නියම කළ ගිහාන් කුලතුංග විනිසුරුතුමන් ඉදිරිපිට බැවින්ද එම තීන්දුවේදී දේශපාලන මත ප්‍රකාශයක් ඇතුළත් කර ඇති බැවින්ද, තවදුරටත් මගේ සේවාදායකයාට එරෙහි බරපතළ අපරාධ විමර්ශන කොමිසමේ සාමාජිකයකුව සිටිමින් මෙම කරුණු විභාගයට සම්බන්ධ වූ එම විනිසුරුතුමන් හමුවේම මහාධිකරණ නඩුවද විභාගයට ගැනීම ප්‍රශ්නගත බැවින්ද නඩු විභාගය වෙනත් විනිසුරුතුමකු හෝ තුමියක හමුවේ විභාගයට යොමු කරන ලෙස ඉතා ගෞරවයෙන් ගෞරවනීය උගත් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා කියා සිටියේය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දේශපාලන විරුද්ධවාදීන් කුමන්ත්‍රණ චෝදනාවක් නඟා අත්අඩංගුවට ගෙන සිරගත කොට එමඟින් දේශපාලන ප්‍රතිවාදීන් මෙල්ල කර ගැනීමට වත්මන් රජය ක්‍රියා කරන බවට සතර අතින්ම චෝදනා එල්ල වන බවත් මෙය රට තුළ පමණක් නොව දේශ දේශාන්තරයන්හිද ප්‍රකට කරුණක්ව ඇති බවත්, ඒ සඳහා අධිකරණය හා නීතිපතිවරයා යොදා ගැනීම බරපතළ තත්ත්වයක් බවත්ය.

වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් මෙම ඉල්ලීම යුක්ති සහගත නොවන බවත් මේ ආකාරයෙන් සෑම නඩුවකම විත්තිකරුවන් මෙය ආදර්ශයට ගෙන ක්‍රියා කළහොත් සමස්ත අධිකරණ පද්ධතියම විශාල අර්බුදයකට ලක්වන බවත් එබැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ද්වීපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අතර ඒ අනුව ජුනි 25 වැනිදා නඩු විභාගය ආරම්භ කිරීමටත් තීන්දු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon