පොරොවකින් කොටා පුද්ගලයකු මැරූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

  👤  4382 readers have read this article !
By mawbima 2018-05-16

මොනරාගල - සංජීව බණ්ඩාර

තණමල්විල පොලිස් වසමේ හම්බේගමුව මාර්ගයේ ගල්කොටුව කන්ද ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර මුදල් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෙරේදා (14දා) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.

මෙම ඝාතනය රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ එකක් බව මේ පිළිබඳව පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ සෙවණගල කිරිවැව නුගේගලයාය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ඩී.එම්. සිසිර කුමාර පතිරාජ නමැති තිස් අට හැවිරිදි දෙදරු පියෙකි. ඔහු ප්‍රදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන අයකුද බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව, මීගහජඳුර, කුඹුක්වැව පදිංචි දහනව හැවිරිදි තරුණයෙකි. ඔහු මෙම ඝාතනය රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ එකක් බව පොලිසියට පවසා තිබේ. සැකකරු ඒ සඳහා කොන්ත්‍රාත්කරුගෙන් අත්තිකාරම් වශයෙන් ලබාගත් රුපියල් විසිපන්දහසක මුදලින් රුපියල් දහ අට දහසක මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.

සැකකරු මෙම ඝාතනය සිදුකිරීමට යොදාගත් යතුරුපැදිය, මරණකරු සන්තකයේ තිබී රැගෙන ගිය මුදල් හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයේ මුදල් එකතු කිරීමේ පොතක්, සැකකරු මෙම ඝාතනය සිදුකරන මොහොතේ ඇඳගෙන සිටි බව කියන කළු කොට කලිසමක්, ලේ වැනි පැල්ලම් ඇති කොළ පාට ටී ෂර්ට් එකක්, අපරාධය සිදු කිරීම සඳහා සැකකරු පැලඳ පැමිණි මුහුණු ආවරණය සහිත හිස්වැස්මක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය විසින් මේ වන විට සොයාගෙන ඇත. සැකකාර තරුණයා මෙම ඝාතනය සිදු කිරීමට යොදාගත් අත් පොරව සූරියවැව මීගහජඳුර වැවට විසිකළ බවත් එම අත්පොරොව සඟවාගෙන ආ ජැකට්ටුව මීගහජඳුර ගල්අමුණු ඇළෙහි

පා කර යැවූ බවත් ඔහු පොලිසියට පාපෝච්චාරණය කරමින් පවසා තිබේ. ඒ අනුව පොලිස් කණ්ඩායමක් මීගහජඳුර වැවට ගොස් මෙම ඝාතනයට යොදාගත් අත් පොරොව සොයාගැනීමට උත්සාහ ගෙන ඇතත් වැවෙහි ජල මට්ටම අඩි 15ක් පමණ වන බැවින් සොයා ගැනීමට අසීරු වී ඇත. පොලිසිය පවසන්නේ නාවික හමුදාවේ සහාය ලබාගෙන මෙම ආයුධය සොයාගැනීමට කටයුතු කරන බවයි.

සැකකරුට මෙම ඝාතනය සිදු කිරීමට කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා හා ඊට සහාය දුන් තවත් පුද්ගලයකු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව තණමල්විල පොලිසියේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවැසීය.

මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා සෙවණගල නුගේගලයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ගංජා වෙළෙ¼දාම හේතුවෙන් ඇති වූ අමනාපයක් මුල්කරගෙන මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධ බවට සැක කරන පලාගොස් සැඟව සිටින සැකකරුවන් දෙදෙනාද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව තණමල්විල පොලිසියපවසයි.

මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩී.පී.යූ. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත තණමල්විල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.එස්. පනාවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක කේ.එම්.එන්. අමරසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ඝාතන සැකකරු හා මීට සම්බන්ධ අනෙක් සැකකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමට එක්ව තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (15දා) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.

තණමල්විල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon