ප්‍රසන්න රණතුංග සමඟ පැවැත්වූ සංවාද රහසිගතව ටැබ් යන්ත්‍රයේ පටිගත කර ගත්තා

  👤  4564 readers have read this article !
By mawbima 2018-05-16

කේ.එස්. උදයකුමාර්

මුදල් ලබාදෙන්නැයි බල කරමින් විත්තිකාර බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා විසින් තමා සමඟ පැවැත්වූ සංවාද රහසිගත ආකාරයෙන් සිය ටැබ් යන්ත්‍රය යොදාගෙන පටිගත කර ගත් බවත් එසේ පටිගත කරගන්නා ලද හඬ සංයුක්ත තැටි හයකට ඇතුළත් කර පොලිසියට භාරදුන් බවත් සාක්ෂිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් මහතා ඊයේ (15දා) කොළඹ මහාධිකරණ හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය. මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් කර දීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය. පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකාර ජෙරාඩ් මෙන්ඩිස් මහතා විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා විසින් බලහත්කාරයෙන් තර්ජනය කර ඉල්ලා සිටි මුදල් වෙනුවෙන් තමා පොරොන්දු නෝට්ටු අස්සන් කර ඔහුට ලබාදුන් බව කීවේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

මෙම පොරොන්දු නෝට්ටුවලට තමා අස්සන් කළේ කොහේදීද?

සාක්ෂිකරු

විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවෙසේදී.

රජයේ නි. සොලිසිටර් ජනරාල්

පොරොන්දු නෝට්ටු කීයකට තමුන් අස්සන් කළාද?

සාක්ෂිකරු

පොරොන්දු නෝට්ටු 5කට පමණ මා අස්සන් කළා.

රජයේ නි. සොලිසිටර් ජනරාල්

මෙම පොරොන්දු නෝට්ටු කවුද ලිව්වේ?

සාක්ෂිකරු

මම යනකොටත් පොරොන්දු නෝට්ටු සියල්ල ලියලා තිබුණේ. මම කළේ ඒවාට අස්සන් තැබීම පමණයි.
රජයේ නි. සොලිසිටර් ජනරාල්

මෙම මුදල් ගනුදෙනුවට අදාළව

විත්තිකරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡා සියල්ල ඔබ පටිගත කළ බව සඳහන් කර තිබුණා නේද?

සාක්ෂිකරු

ඔව්. විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා සමඟ පැවැත්වූ සංවාද සියල්ල මා ඉතා රහසිගත ආකාරයෙන් මගේ ටැබ් යන්ත්‍රය යොදාගෙන පටිගත කළා.

පසුව මම මේ හඬ පට සියල්ල සංයුක්ත තැටි 6ක ඇතුළත් කර පොලිසියට භාර දුන්නා.

සාක්ෂිකරු විසින් පොලිසියට භාරදුන් එම සංයුක්ත තැටි 6 රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් විවෘත අධිකරණයේ පෙන්වා සිටි අවස්ථාවේ සාක්ෂිකරු විසින් ඒවා හඳුනාගන්නා ලදී.

ඒ අනුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් මහාධිකරණ විනිසුරුවරියගේ අවසරය මත එක් සංයුක්ත තැටියක් විවෘත අධිකරණයේ වාදනය කරන ලදී.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

මෙම සංයුක්ත තැටියේ අන්තර්ගත වන්නේ තමුන් විසින් පටිගත කළ හඬද?

සාක්ෂිකරු

ඔව් ස්වාමිනී! මෙහි ඇතුළත් වන්නේ මාත් විත්තිකාර හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාත් අතර ඇතිවූ දුරකථන සංවාදයක්.

මෙම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙම සංයුක්ත තැටි සියල්ල කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කර එහි විශේෂඥයන්ගේ වාර්තා ලබාගෙන ඇති අතර එම විශේෂඥ සාක්ෂි ඉදිරියේදී කැඳවීමට අපේක්ෂා කරන බවද දන්වා සිටියේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම හඬ පටයේ අඩංගු ඇතැම් වචන ඇසීමේදී අපැහැදිලි ස්වභාවයක් පෙන්නුම් කරන හෙයින් සුදුසු අවස්ථාවක් එළැඹුණු විට ඒ
පිළිබඳව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

අනතුරුව මෙම සංයුක්ත තැටි පිළිබඳ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 11 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කෙරුණු අතර එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුට අවවාද කරන ලදී.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන නරේෂ්

ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යෑමට අධිකරණය තීරණය කර තිබේ. අධිකරණය මඟහැර සිටින මෙම විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon