මෙවර අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමේ වාර්තාව කිංස් - ඔධ් පිල හිමිකර ගනී

  👤  4316 readers have read this article !
By mawbima 2018-05-16

2018 ඉන්දීය පී්‍රමියර් ලීග් තරගාවලියේ පෙරේදා (14දා) පැවැති තරගයේදී කිංස් - ඔධ් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක ජයක් වාර්තා කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර එහිදී කිංස් - ඔධ් පන්ජාබ් කණ්ඩායම සියලුම දෙනා දැවී ගොස් රැස් කළ ලකුණු 88 මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව බවට පත් විය.

ඉන්දෝරේහි හෝකර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කිංස් - ඔධ් පන්ජාබ් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ ලකුණු 88කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 8කදී කිසිවකු නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් එම තරගය ජය ලැබීය.

මේ අතර පසුගියදා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැති තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කෝලි පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේ නරඹන්නකු හදිසියේ ක්‍රීඩාංගණය තුළට දිවැවිත් කෝලි ඉදිරියේ වැඳ වැටෙන අතර ඉන් අනතුරුව ක්‍රීඩාංගණ ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහුව ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ ඉල්ලීමට අනුව විරාත් කෝලි සමඟ 'සෙල්ෆි' ඡායාරූපයක් ලබා ගන්නා ආකාරය එම වීඩියෝවේ දැක්වේ. එමෙන්ම මෙවර අයි.පී.එල්. තරගාවලියේදී තවත් මෙවැනිම අත්දැකීම්වලට මුහුණදීමට රාජස්ථාන් රෝයල්ස් නායක අජින්ක්‍යා රහනේට සහ චෙන්නායි සුපර් කිංස් නායක මහේන්ද්‍ර සිං දෝනිට ද සිදුවිය.

කෙසේ වෙතත් තරග 12කට සහභාගි වී ඉන් 5ක් පමණක් ජයගෙන ඇති රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි. එහි ප්‍රථම ස්ථානය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් චෙන්නායි සුපර් කිංස් සහ කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමටත් හිමිව ඇති අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හතරවැනි ස්ථානයේ රැඳී සිටී.

තවද දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ රිෂාබ් පාන්ට් තරග 12කදී අර්ධ ශතක 4ක් සහ ශතකයක් ද සමඟින් ලකුණු 582 ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණු රැස් කරගෙන සිටින ක්‍රීඩකයා (ඔරේන්ජ් කැප් හිමිකරුවා) බවට පත්ව ඇති අතර තරග 12 කදී කඩුලු 20ක් දවාගෙන ඇති කිංස් - ඔධ් පන්ජාබ් ක්‍රීඩක ඇන්ඩෘ ටයි තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (පර්පල් කැප් හිමිකරුවා) බවට පත්ව තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon