95 වැනි මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට රන් තුනයි රිදී එකයි

  👤  3722 readers have read this article !
By mawbima 2018-05-15

විචිත්‍ර වීරසිංහ

මලයාසියාවේ ක්වාලාලාම්පූර්හි ජාතික ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැති 95 වැනි මලයාසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් තුනක් හා එක් රිදී පදක්කමක් දිනාගැනීමට සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

එහිදී මීටර් 100 තරගයට ඉදිරිපත් වූ විනෝජ් සුරංජය මූලික වටයේ තරගයේදී තත්. 10.34ක කාලයක් සටහන් කළද අවසන් තරගයේදී තත්. 10.27ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත් අතර, ඔහු විසින් වාර්තා කළ මෙම කාලය එම ඉසව්වේදී ඔහු වාර්තා කළ හොඳම කාලය බවටද පත්වී තිබිණි.

කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලෙට යෑම සඳහා කොළඹ සුගතදාස පිටියේදී පසුගියදා (අප්‍රේල් 28දා) පැවැති පළමු තේරීම් තරගයේදී මීටර් 200 ඉසව්ව තත්. 20.68කදී අවසන් කරමින් එතෙක් සුගත් තිලකරත්න විසින් තබා තිබූ වාර්තාවද බිඳ හෙලූ විනෝජ් සුරංජයට මලයාසියානු විවෘත තරගාවලිය සඳහා එක් වූ බැවින් එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් 12 වැනිදා පැවැති දෙවැනි තේරීම් තරගය සඳහා එක්වීමට නොහැකි විය.


මලයාසියානු විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ අනෙක් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතුරින් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම දිනා දීමට කාලිංග කුමාරගේ සමත් වූයේ මීටර් 400 ඉසව්ව තත්. 46.60ක කාලයකදී අවසන් කරමිනි. මූලික වටයේ තරගයකදී තත්. 46.86ක කාලයක් සටහන් කළද අවසන් තරගයේදී ඔහු වාර්තා කළ කාලය රන් පදක්කම සඳහා යෑමට ප්‍රමාණවත් වී තිබිණි.

තවද වර්ෂා සහිත කාලගුණ තත්ත්වයක් යටතේ මීටර් 400 කඩුලු ඉසව්වට සහභාගි වූ අසංක ඉන්ද්‍රජිත් රත්නසේන තත්. 52.00ක කාලයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට තෙවැනි රන් පදක්කම දිනාදීමට සමත් විය.

මේ අතර මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතුරින් ඉදිරියෙන්ම සිටි රුමේෂිකා රත්නායකට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. ඒ අනුව ඇය මීටර් 100 ඉසව්ව තත්. 11.76ක කාලයක් සටහන් කරමින් නිමා කළ අතර, මලයාසියානු ක්‍රීඩිකා ෂයිදතුල් හුසනියා තත්. 11.65ක කාලයක් සටහන් කරමින් එහි රන් පදක්කම දිනාගත්තාය.

සෑම තරගාවලියකටම පෙර තහනම් උත්තේජක පරීක්‍ෂණ අනිවාර්යයි- ක්‍රීඩා ඇමැතිගෙන් නියෝගයක්

ජාත්‍යන්තර තරග සඳහා යෑමට පෙර සියලුම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්‍ෂාවට මුහුණ දිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර ඇත.
ඔහු මේ අදහස් දැක්වූයේ තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ නිලධාරීන් හා පසුගිදා පැවැති විශේෂ රැස්වීමකදීය.

ජාත්‍යන්තරය සඳහා පිරිසුදු ක්‍රීඩක-ක්‍රීඩිකාවන් යොමු කිරීම පෙරදැරි කරගනිමින් අදාළ සංගම් මෙම වගකීම දැරිය යුතු බවද එහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කර ඇතැයිද පැවැසේ.

තවද මින් ඉදිරියට ජාත්‍යන්තර තරගාවලියක් සඳහා නම් කළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මාසයකට පෙර තහනම් උත්තේජක පරීක්‍ෂාව සිදුකළ යුත් බවත්, ඉන් අනතුරුව එයින් සමත් වන්නන් පමණක් ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යවරයා විසින් සියලු ක්‍රීඩා සංගම්වලට නියම කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon