පෝර්ට් සිටි හැදීමට මීගමු මුහුදෙන් වැලි පොම්ප කරනවාට එරෙහිව කුඩාමඩුවැල්ලේ විරෝධතා

  👤  3570 readers have read this article !
By mawbima 2018-04-25

ආරියරත්න ගනේගොඩ

මුහුදු ඛාදනයට වහා පිළියම් යොදන ලෙස ඉල්ලමින් මාරවිල, තොඩුවාව, කුඩාමඩුවැල්ල ප්‍රදේශවාසී පිරිසක් ඊයේ (24දා) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. මහවැව තොඩුවාව, මාර්ගයේ කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් පැය දෙකකට ආසන්න කාලයක් මේ විරෝධතාව පැවැතිණි.

මෙහිදී හලාවත පුත්තලම මාර්ගයේ බිම වැතිර ගත් විරෝධතාකරුවන් බලධාරීන් පැමිණෙන තෙක් විරෝධතාව අත් නොහරින බව ප්‍රකාශ කර සිටියත් කිසිම බලධාරියකු නොපැමිණීම හේතුවෙන් සිය විරෝධය අත්හරිනු ලැබීය.

කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ මීටර් 150 ක පමණ ප්‍රදේශයක් මේ වන විට මුහුදු බත් වී ඇති අතර තාවකාලික කූඩාරම් රැසක් විනාශ වී ස්ථීර නිවාස කීපයක්ද මුහුදු බත්වීමේ අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි විරෝධතාකරුවෝ පැවැසූහ.

නිවාස කීපයකට මුහුදු ජලය ගැලීම හේතුවෙන් නිවාස අත්හැර යෑමට තමන්ට සිදු වී ඇති අතර ළිං රැසකට ලවණ මිශ්‍ර වී ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.
මෙහිදී ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ මුහුදු ඛාදනයට ප්‍රධාන හේතුව පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා මීගමුව ආශ්‍රිත ප්‍රදේශයෙන් මුහුදු වැලි ලබාගැනීම බවයි. ජාතික ධීවර සහයෝගිතාව මේ පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කළ අතර එම ව්‍යාපෘතිය සඳහා වැලි ලබාගැනීමට විරෝධය පළකරමින් කළු පැහැති බැලූන් ගුවන්ගත කිරීමක් මෙහිදී සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ධීවර සහයොගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පැවැසුවේ මේ වන විට කොළඹ උතුර ප්‍රදේශයේ ගම්මාන රැසක් මුහුදු බත් වීමේ අවදානමක් ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුව දෙවසරකට ආසන්න කාලයක සිට පෝර්ට් සිටි ව්‍යාපාරය සඳහා මීගමුව ආශ්‍රිත මුහුදෙන් නැව් මඟින් වැලි පොම්ප කිරීම සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

එක නගරයක් හදලා නගර රැසක් විනාශ කිරීම තමයි මින් දැන් සිදුව තිබෙන්නේ. මෙම රජය පෝර්ට් සිටි ව්‍යාපෘතිය නවත්වන්නේ නැත්නම් මෙය නවත්වන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටිය යුතුයි. අද අපි මේ කළු පැහැති බැලුන් ගුවන්ගත කරලා කළෙත් අපේ රටේ රජයට මෙන්ම චීන රජයටත් මේ පිළිබඳ විරෝධය පළ කරනවා යනුවෙන් එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon