මැලේරියාව නැවත ඇතිවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පවසයි

  👤  3591 readers have read this article !
By mawbima 2018-04-25

දයා පෙරේරා

මැලේරියාව බහුල රටවල සංචාරය කරන හා එවැනි රටවලින් පැමිණෙන සංඛ්‍යාව වැඩිවීම සහ රට පුරා මැලේරියාව පැතිරවීමේ හැකියාව ඇති වාහක මදුරුවකු සිටින නිසා ශ්‍රී ලංකාව නිරතුරුවම නැවත මැලේරියාව ඇතිවීමේ අවදානමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙයි.

විදේශ රටවල සිට පැමිණෙන ආගන්තුකයන් සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්‍ෂණය කිරීම මේ තත්ත්වය වළක්වා ගැනීමේ ක්‍රමයක් වන බැවින ලොව වෙනත් රටවල මෙවැනි වැඩසටහන්වලදී හඳුනාගන්නා රෝගීන් පිටුවහල් කරන නමුත් ශ්‍රී ලංකාව එසේ නොකොට මහජන සුබවාදී සැලැස්මක් ඉදිරිපත් කිරීම ලෝකයේම පිළිගැනීමට ලක්වී ඇති බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.

මෙවැනි සංචාරයක් හේතුවෙන් සෑම වසරකම මැලේරියා රෝගීන් පනහක් පමණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් වාර්තාවන බවත් එම "ආනයනික මැලේරියා" රෝගීන් මුල්කාලයේදීම හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් යළිත් මැලේරියා වසංගතයක් රටේ ඇතිවීමේ විශාල අවදානමක් ඇති බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයට පත්කර හය වැනි වසරට පා තැබීම හා ලෝක මැලේරියා දිනය සැමරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය කොළඹ කිංග්ස්බරි හෝටලයේ ඊයේ (24දා) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම එසේ පැවැසීය.

2016 දෙසැම්බර් මාසයේ මන්නාරම ප්‍රදේශයේ සොයාගත් 'ඇනෝපීලිස් ස්ටෙපන්සයි' නම් මදුරු වර්ගය ඉන්දියාවේ සිට මෙහි පැමිණ ඇති බවත් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව මැලේරියාව සම්ප්‍රේෂණයකරන ප්‍රබල මදුරු විශේෂයක් බවත් පැවැසූ හෙතෙම මේ මදුරුවා උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්කවලින් හමුවී ඇති බවත් කීය.

මේ ආගන්තුක මදුරුවා නිසා මදුරු පාලනය දැඩි කළ යුතුව ඇතැයිද 2018- 2022 සඳහා මැලේරියා මර්දන උපාය මාර්ගික වැඩසටහනක් නම්කර රුපියල් බිලියන 06ක් වෙන්කර තිබෙන්නේ යැයිද ඒ අනුව සෑම පුද්ගලයකු වෙනුවෙන් වසරකට රුපියල් 60ක මුදලක් වෙන් කෙරෙන්නේ යැයිද එමඟින් වැය කරන සෑම රුපියලක් සඳහා රුපියල් 13ක අවම ඉතිරියක් සිදු කරන්නේ යැයිද හෙතෙම කීවේය.

"මැලේරියා බහුල රටවල සංචාරය කිරීමට සති දෙකකට පෙර මැලේරියා මර්දන මූලස්ථානයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ මැලේරියා වැළැක්වීමේ ඔෟෂධ ලබාගත යුතුයි. මෙරටට පැමිණි පසු මැලේරියාව සඳහා රුධිර පරීක්ෂණයක් කරගන්න. වසරක් යනතුරු උණ වැලඳුනහොත් මැලේරියාව සඳහාද රුධිර පරීක්‍ෂණය කරගන්න. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය හමුවට එක්වෙමින් කීවේය.

වැඩ බලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ෆයිසාල් කාසිම්ද මේ අවස්ථාවට එක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon