සහල් - පොල් - එළවළු තොග මිල පහළට යද්දී සිල්ලර මිල අහස උසට

  👤  3739 readers have read this article !
By mawbima 2018-04-25

උපතිස්ස පෙරේරා

අතරමැදි ව්‍යාපාරිකයන්ගේ බලපෑම් හේතුවෙන් ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකිව අසරණ වෙද්දී පාරිභෝගික ජනතාවට එම නිෂ්පාදන සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීමෙන් ඔවුන් බලවත් පීඩාවකට පත්ව සිටින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෞද්ගලික සහල් මෝල් හිමියන් වැඩි මිලක් ගෙවා වී මිලදී ගැනීම හේතුවෙන් සහල් නිෂ්පාදනයට අවශ්‍ය වී තොග හිඟවීම නිසා පසුගිය වසරේ රුපියල් 100 ඉක්මවා මිල ඉහළ ගියද මහ කන්නයේ වී අස්වනු වෙළෙඳපොළට පැමිණ මාසයකට අධික කාලයක් ගතව තිබියදී සහල් මිලෙහි වෙනසක් නොවීම පිටුපස වෙළෙඳපොළ පාලනය කරන මහ පරිමාණ සහල් මෝල් හිමියන් සිටින බව 'මව්බිම' කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය. මහ කන්නයේ අස්වනු ලැබෙන පෙබරවාරි මාසය වනවිට සහල් මිල ඉහළ යෑම සාමාන්‍ය කරුණක්. නමුත් අස්වනු ලැබීමත් සමඟ එය සියයට 20-25 අතර ප්‍රතිශතයකින් අඩු වුණත් මෙවර විවෘත වෙළෙඳපොළේ එවැනි අඩුවීමක් දක්නට නොලැබේ.

සහල් මිලට සාපේක්‍ෂව ඉහළ යන පොල් මිලද අප්‍රේල් මාසයේදී පහළ බසින අතර පොල් තොග මිල රුපියල් 50-55 දක්වා පහළ බැස තිබියදී පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 100ට අඩුවී නොමැති බවද පාරිභෝගිකයෝ පවසති.

මේ අතර මෑකරල්, බටු, බණ්ඩක්කා, තලන බටු, කරවිල, කැකිරි, වට්ටක්කා ඇතුළු පහතරට එළවළු තොග මිල රුපියල් 5-25ත් අතර පහත බැසීම නිසා දඹුල්ල, මොනරාගල, තිස්සමහරාමය ඇතුළු ගොවීහු දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර තම නිෂ්පාදන කවර හෝ මිලකට අලෙවි කර ගත නොහැකිව ගොවිහු විශාල පිරිසක්ද කර කියාගත හැකි දෙයක් නොමැතිව ළතැවෙති. පසුගිය වසරේ වට්ටක්කා, කැකිරි, බටු වැනි වගාවලින් හොඳ ආදායමක් ලැබූ නිසා ඒ කෙරෙහි විශ්වාසය තබා මෙවරද ගොවීහු විශාල පිරිසක් ඒවා වගාවට පෙලඹීමෙන් වෙළෙඳපොළ අතිරික්තයක් නිර්මාණය වී ඇතැයි තොග වෙළෙන්දෝ පවසති. උඩරට එළවළුවල තොග මිලද සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇතත් කොළඹ, මහනුවර, කුරුණෑගල, මීගමුව ඇතුළු තදාසන්න නගරවල එළවළු, සිල්ලර මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවත් මෙම වෙසක් සමයේ එම එළවළු වර්ගවල මිල තවත් ඉහළ යෑමේ අවදානමක් තිබෙන බවත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. යාපනයේ අර්තාපල් ගොවීන්ගේ අර්තාපල් තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් කිලෝවකට රුපියල් 40ක් හෝ ලබා ගැනීමට නොහැකිවූ බවත් යාපනයේ සිට ගෙන එන එළවළුවලටද අත්වී ඇත්තේ එම ඉරණම බවත් ඔවුහු පවසති.

පසුගිය සති අන්තය වනවිට උඩරට අර්තාපල් කිලෝව රුපියල් 95, බෝංචි රුපියල් 110, බීට්රූට් රුපියල් 40, ගෝවා රුපියල් 35, තක්කාලි රුපියල් 30, කැරට් රුපියල් 100ක්, නෝකෝල් රු. 40, පිපිඤ්ඤා රුපියල් 40ක් වශයෙන් තොග මිල පැවැතියද සිල්ලර වෙළෙඳපොළේ ඒවායේ මිල කිලෝවක් රුපියල් 100 සිට 250 දක්වා වූ බවද වාර්තා විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon