යාල වනෝද්‍යානයේ ඇතකු මරා ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ ව්‍යාපාරිකයන් දෙදෙනා දැලේ

  👤  3669 readers have read this article !
By mawbima 2018-04-25

දඹුල්ල - කේ.කේ. ආරියදාස

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත ඇතකු ඝාතනය කොට ඇතාගේ ගජමුතු දෙකක් රුපියල් ලක්‍ෂ 70කට අලෙවි කිරීම සඳහා දඹුල්ලට පැමිණි බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ ඔවුන්ගේ මාමා කෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය 23දා පස්වරුවේ සමත් විය. ව්‍යාපාරිකයන් දෙදෙනා ඥාතීත්වයෙන් දෙමස්සිනාලා බව පැවසේ.

පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත දින ගණනාවක් තිස්සේ ගජමුතු 2 මිලට ගන්නා ගැනුම්කරුවන් ලෙස දුරකතනයෙන් සාකච්ඡා කොට ගනුදෙනුව සිදුකිරීම සඳහා දඹුල්ලට ගෙන්වාගෙන මෙසේ ඔවුන් තිදෙනා සහ ගජමුතු 2 අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහ විහාරය ආසන්නයේදී මෙම ගනුදෙනුව සිදු කිරීමට වෙස්වළාගත් පොලිස් කණ්ඩායමක් ගැනුම්කරුවන් ලෙස කටයුතු කර තිබිණි.
වෙස්වළාගත් පොලිස් නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස දඹුල්ල පුදබිමේ රැඳී සිටි අවස්ථාවේදී ගජමුතු දෙක රැගෙන අලෙවි කිරීම සඳහා දෙමස්සිනාලා පැමිණ තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයකු යොදවා ගජමුතු දෙක පරීක්‍ෂා කරන අවස්ථාවේදී සැඟව සිටි පොලිස් නිලධාරීන් එකවරම ඔවුන්ගේ දෑත්වලට මාංචු දැමූ බව පොලිසිය පැවැසීය.

පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ගජමුතු දෙකේ අයිතිකරු බව කියන ඥාති මාමා බව සඳහන් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද දඹුල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

යාල ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත ඇතකු මරා මෙම ඇත් දළ යුගල තුළ තිබූ ගජමුතු ලබාගත් බව ගනුදෙනුවට පෙර පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන් ප්‍රකාශ කර තිබුණු බවත් ඒ අනුව ඇත් දළ යුගලයද අලෙවි කිරීමට ඇති බව ඔවුන් ප්‍රකාශ කළේ යැයි පොලිසිය සඳහන් කළේය. තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවත් ඝාතනය කර තිබූ ඇතාගේ දළ යුගලය සොයා පොලිස් පරීක්‍ෂණ ආරම්භ කරන බවත් දඹුල්ල පොලිසියේ විශේෂ ප්‍රකාශකයකු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාත් ගජමුතු දෙක හා මෝටර් රථයත් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාන් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක ජේ.එම්. විජේරත්න මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon