හෙද දියණිය ඝාතනය කළ බෑනා මරා ගල් වළකට දැමීමේ සිද්ධිය හෙදියගේ මවත් අනියම් සැමියාත් මැයි 2 දක්වා යළිත් රිමාන්ඩ්

  👤  3754 readers have read this article !
By mawbima 2018-04-25

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස

තම හෙද දියණිය මරා දැමීම නිසා ඇති වූ කෝපය හේතුවෙන් අනියම් සැමියා සමඟ එක්ව දියණියගේ සැමියාගේ ගෙල මිරිකා ඔහු ඝාතනය කර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ගැඹුරු ගල් වළකට දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හෙද නිලධාරිනියකගේ මවක සහ ඇගේ අනියම් සැමියා මැයි 2 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස අනුරධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර - ශ්‍රාවස්තිපුර කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා බව කියන 52 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

රිමාන්ඩ් කළ මෙම කාන්තාවගේ දියණියක වූ හෙදියක පසුගිය දිනක ඝාතනය කර තිබිණි. ඇගේ සැමියා විසින් එම ඝාතනය කර ඇති බව දැන, කෝපයට පත් මෙම සැකකාර මව ඇගේ අනියම් සැමියා සමඟ එක්ව තම දියණිය මැරූ බෑනාගේ (දියණියගේ සැමියා) ගෙල මිරිකා මරා ගල් වළකට දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඝාතනයට ලක් වූ හෙදියගේ සැමියා ඇය ඝාතනය කර සියදිවි නසා ගන්නට ඇති බවට සැක කළද හෙදියගේ සැමියා මරණයට පත්ව ඇත්තේ ගෙල මිරිකීම හේතුවෙන් බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.කේ. සේනානායක මහතා හෙදියගේ සැමියාගේ මෘත දේහය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කළේය. පසුව මෙම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනිණි. අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ සහ සහකාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විදානගමගේ මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon