වැලිකඩ බන්ධනාගාරයේදී 27ක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පොලිස් පරීක්ෂක රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් යළිත් රිමාන්ඩ්

  👤  3756 readers have read this article !
By mawbima 2018-04-25

කේ. එස්. උදය කුමාර්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනකු ඝාතනයට ලක් වූ අවස්ථාවේ බන්ධනාගාරය තුළට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඇතුළු කිරීමට අණ දුන් ඉහළ පෙළේ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියට නියෝගයක් කරන්නැයි අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීම පරිදි එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (24දා) ප්‍රකාශ කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වැනි වගන්තිය ප්‍රකාරව එවැනි ඉල්ලීමක් සිදුකළ හැක්කේ විමර්ශන සිදුකරන පොලිසිය වැනි අංශවලට පමණක් යැයි සඳහන් කළ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා, එම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසියට දැනුම් දීම පමණක් සිදුකළ හැකි බව විවෘත අධිකරණයේ සඳහන් කළේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය වූ අවස්ථාවේ යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාරය තුළට පිවිසියේ නීති විරෝධී ආකාරයට යැයි චෝදනා එල්ල කළේය. එසේ බන්ධනාගාරය තුළට ඇතුළු වීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් පවා ලබාගෙන නොතිබූ බවත් මෙසේ බන්ධනාගාරය තුළට ඇතුළුවීම සඳහා අණ දුන් ඉහළ පෙළේ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා මෙම කරුණු සම්බන්ධයෙන් ද පරීක්ෂණ අංශවල අවධානය යොමුවී තිබෙන බව සඳහන් කළේය. රහස් පොලිසිය පරීක්ෂණ සිදු කරන්නේ ඉදිරිපත් වන සාක්ෂි මත පදනම්ව බවත් යම් යම් පුද්ගලයන් හෝ චරිත සිතේ තබාගනිමින් විමර්ශන සිදු කළ නොහැකි බවත් රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස් ලබා ගැනීමකින් තොරව බවත් මෙවැනි සිද්ධීන්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර නීතිපති උපදෙස් ලබා ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෑම අවස්ථාවකදීම නීතිපති උපදෙස් ලබා ගැනීම අනවශ්‍ය බවයි.

මෙම සැකකරුවන් දෙදෙනාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඒවා ලබාදීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස ඉදිරිපත් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක මෝසස් නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස්වරයකු වන එමිල් රන්ජන් ළමාහේවා මැයි මස 08 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද රහස් පොලිසියට නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon