අපි බලයට ගෙනාපු ආණ්ඩුව අද අපිත් එක්ක කතා කරන්නේ නෑ

  👤  3714 readers have read this article !
By mawbima 2018-04-25

පොහොර සහනාධාරය සඳහා යළිත් වරක් පොහොරම ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව කතා කිරීමට තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

"වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළද මේ වනවිට අපට කතා කිරීමටත් කිසිදු අවස්ථාවක් නැතැයි උන්වහන්සේ චෝදනා කළහ. රතන හිමියන් මේ බව කියා සිටියේ ඊයේ (24දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති වස විසෙන් තොර රටක් ජාතික වැඩසටහන ආරම්භ කර වසර දෙකක් ගතවීම නිමිත්තෙන් එහි ජයග්‍රහණයන් හා අභියෝග හා ඒවා ජයගත හැකි මාර්ග පිළිබඳව සිදුකළ කතිකාවතට සහභාගි වෙමිනි.

මේ වනවිට කාබනික පොහොර කෙරේ ලෝකයේම අවධානය යොමු වෙද්දී ලංකාව තවදුරටත් රසායනික පොහොර වෙත අවධානය යොමුකර සිටින බව පෙන්වා දුන් උන්වහන්සේ වල්නාශක සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදීමට තමන් සූදානම් වුවද ඒ කෙරේ කිසිදු ඉඩක් අදාළ පාර්ශ්ව වලින් නොලැබුණු බව සඳහන් කළහ.

"අපි නිසා මේ ආණ්ඩුව ඡන්දය පැරදුණා කියලා අපිට චෝදනා කරනවා. නමුත් අපි කිසිදු විටෙක රසායනික පොහොර ලබා නොදෙන්නැයි ආණ්ඩුවට කියලා නැහැ. පොහොර ප්‍රශ්නය නිසා නම් රජය මෙවර ඡන්දයෙන් පැරදුණ් මහරගම "බයිසිකලය"ජයග්‍රහණය කළේ පොහොර නිසාදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටිනවා."

වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ මෙසේද පැවැසූහ.

මේ ආණ්ඩුව අපි බිහි කර ගත්තේ රටේ යම්කිසි ගුණාත්මක වෙනසක් ඇති කිරීමටයි. එහිදී අප දරපු ප්‍රධාන ප්‍රයත්නය තමයි වස විසෙන් තොර ගොවිතැනක් කියන ව්‍යාපෘතිය සමාජගත කිරීම. ලෝක ප්‍රවණතාව පිළිබඳව අද කාටත් විවිධ අදහස් තිබෙනවා. නමුත් ලෝක චිත්‍රය දෙස බලනවිට ප්‍රවෘත්ති බලනවිට මම දැක්කා පසුගිය දවසක සිරියාවේ ළමුන් 48ක් යුද්ධය නිසා ඝාතනයට ලක්ව තිබෙනවා. ඒවාගේ රටවල් 64ක දෙවැනි ලෝක යුද්ධය වාගේ තුන්වැනි ලෝක යුද්ධයක් අද නැතත් මිනිසුන් මැරෙනවා.

සාගතෙන් කෝටි 100කට ආසන්න ජනතාවක් එදිනෙදා ජීවිතක්ෂයට පත් වෙනවා. දකුණු ආසියාවේ ළදරු මන්ද පෝෂණයෙන් වැඩිම රට වූ ඇෆ්ගනිස්තානය ළඟට ඉන්නේ ලංකාව කියලා පුවත්පත්වල වාර්තා වී තිබුණා. අපි ණයබරින් පිරුණු දුප්පත් රටක්. ඒ වුණාට කොළඹ අහසේ යෝධ ගොඩනැඟිලි මහා ගොඩනැඟිලි රාශියක් වේගයෙන් ඉදිවෙනවා. අපට පෙනෙනවා. අහස් මාලිගා රැසක් මහා කඳු වාගේ අහස උසට නැඟී යනවා පෙනෙනවා. ඒ වුණත් මේ රටේ අපි නොදන්නා වෙනම සංස්කෘතියක් දකින්න ලැබෙනවා කොළඹ එක පසෙකින් ඉදිරියට යද්දී අපේ ග්‍රාමීය සංස්කෘතියේ ආහාර නිෂ්පාදනය කරන ගොවි ජනතාව ව්‍යසන රාශියකට මුහුණ දී සිටිනවා. වකුගඩු රෝගීන් ලක්ෂ 03ක් පමණ සිටිනවා. පිළිකා රෝගීන් වසරකදී 15,000ක් පමණ ලියාපදිංචි වෙනවා. දියවැඩියාව, හෘද රෝග, ඔට්සම් වැනි රෝග විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා.

අපේ රට ඉතාම ණය බරින් පිරුණු රටක්. අපි වාර්ෂිකව ආණ්ඩුව ආරම්භ කරන්නෙම ඩොලර් බිලියන දෙකක් ණය පොලී ගෙවීමෙන්. එහෙම නැතුව අද ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ අතරවාරේ අධිවේගී පාරවල් හදනවා. ණය ගන්නවා වාරික ගන්නවා.

පළමුව අපි ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳිය යුතුයි. ඒ හරහා රටේ සියලු ප්‍රශ්න විස¼දා ගතහැකියි. ආහාර සමඟ නිරෝගීකම, බෙහෙත් හේත් බද්ධ වී ඇත. අපි වසරකදී සෘජුවම රුපියල් බිලියන දෙක හමාරක මුදල් ප්‍රමාණයක ආහාර ගෙන්වනවා. ණය ගෙවනවාට වඩා මුදලක් මේ සඳහා වැය කරනවා. මෙච්චර මුදලක් වැය කරලා පිටරටින් ගේන්නේ මහ බැංකු වාර්තාවලට අනුව ලූනු, කොත්තමල්ලි, සැමන්, තිප්පිලි, පුවක්, පොල්තෙල්, කරවල ආදියයි.

ආහාර සුරක්ෂිතතාව ඇති කළා නම් අපේ රට සුරක්ෂිත වෙනවා. වෙන මොනවා කළත් වැඩක් නැහැ. මෙය ක්‍රියාත්මක කළහොත් රට ඉදිරියට ගෙනයන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි විවිධ දේවල් කළා. අපිට ඒවා ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.
කාබනික පොහොර නිෂ්පාදනය අපි ආරම්භ කළේ 2016 වසරේදී.

අද ලෝකයේ රසායනික පොහොර සම්බන්ධයෙන් තියෙන ප්‍රවණතාව දිහා බලනවිට චීනය, යුරෝපය වාගේ රටවල් වේගයෙන් කාබනික පොහොර භාවිතය දිහාට නැඹුරු වෙමින් සිටිනවා. ලෝකයේ රසායනික පොහොර නිපදවන බලවත්ම රට චීනය වුවද අද වනවිට චීනයත් 20%ක පමණ ප්‍රමාණයක කාබනික පොහොර නිපදවීමට අවධානය යොමුකර තිබෙනවා. ඇතැම් රටවල ප්‍රාන්තයන්හි රාජ්‍ය මැදිහත් වීමෙන් මේ සම්බන්ධව තීරණාත්මකව තීරණ අරන් තිබෙනවා මේ සඳහා අවධානය යොමු කරන්න, වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. 1980, 70 ගණන්වලදී අපිට අහිමිවූ මේ දේට අද ලෝකයම නැවත හැරෙන තත්ත්වයක් පත්වෙලා තිබෙද්දී අපේ රටේ අය කියනවා ග්ලයිෆොසේට් නැත්නම් වී ගොවිතැන් කරන්න බැහැ කියලා. වී ගොවියෝ කවදාවත් ග්ලයිෆොසේට් ඉල්ලන්නේ නැහැ. නමුත් කෘෂිකර්ම, වැවිලි අමාත්‍යාංශයන් මඟින් ඉල්ලීම් කරනවා මේක අවශ්‍යමයි කියලා. මේ සම්බන්ධව වැදගත් දේශපාලනඥයකුට කතා කළාම මට කියනවා ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ගිය එක තමයිලු අවුල.

තව අවුරුද්දකින් ඡන්දය එනවා. දිනයිද? අපි බලමු දිනයිද කියලා. මම ඉතා නිර්භයව කියා සිටිනවා ඊළඟ පාර ඡන්දය දිනන්නේ, රාජ්‍ය නායකයා වන්නේ කොන්ද පණ ඇති වස විසෙන් තොර ගොවිතැනක් කරගෙන යෑමට ඉඩ ලබාදෙන අපේක්ෂකයකුයි. ඒ සඳහා අවශ්‍ය කෙනා රාජ්‍ය බලයට ගෙන ඒමට අපි අද ඉඳන් වැඩ කරනවා. මේ අයට අපි පෙන්වන්න ඕනේ එයාලා දකින සිහිනය නෙමෙයි ඉටුවෙන්නේ කියලා. අද විශාල ගොවි පිරිසක් අපි සමඟ එක්ව සිටිනවා. ජනතාව සූදානම්.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර
ඡායා - සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon