බොරු නඩු කීපයකට රිමාන්ඩ් කළ තරුණයෙක් අනුරාධපුර ඒ.ඉ.ර්ථී ට හා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා

  👤  3840 readers have read this article !
By mawbima 2018-04-25

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

සිදු නොකළ මිනීමැරුමක් හේතු කර ගනිමින් සොරකම් නඩු තුනකට සහ කප්පම් නඩුවකට පටලවා මාස තුනකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකුට හා අඹන්පොළ පොලිසියට එරෙහිව නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (වර්තමානයේ පොලිස් අධිකාරි) එච්. සමුද්‍රජීව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පොලිස් පරීක්‍ෂක රාජකරුණා පොලිස් සැරයන් මෙන්ඩිස් හා අඹන්පොළ පොලිසිය වග උත්තරකරුවන් ලෙස නම් කරමින් තරුණයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

අමානුෂික වද හිංසාවන්ට ලක්වූ බව කියන අංක 20 ඉහළ සිංහාරාම නොච්චියාගම ලිපිනයේ පදිංචි මෙරෙඤ්ඤ ජොහැන්නස්ගේ සංජීව දුලිප් කුමාර (39) මහතා විසින් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකරණ කාර්යාලය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

ඔහු විසින් සිදුවූ අසාධාරණය මෙලෙස විස්තර කර තිබිණි. පසුගිය 2016 වසරේ අප්‍රේල් මස 30 වැනිදා තිරප්පනය සෙලස්තිමඩුව ප්‍රදේශයේදී හිටපු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළකු (එස්.එස්.බණ්ඩා) හා ඔහුගේ ගෝලයන් දෙදෙනකු වෙඩිතබා මරා දැමීමේ සිද්ධියට සාක්‍ෂි ලබාදීමට ගිය අවස්ථාවේ තිරප්පනය පොලිසිය මාව අනුරාධපුර පොලිසියට භාර දුන්නා.

එහිදී මගෙන් ප්‍රශ්න කර කටමැත ‍ෙදාඩවන්න ආවොත් උඹට තමයි මේ මිනීමැරුම දාන්නේ. මේක පොලිසියෙන් කෙරුවේ යනුවෙන් පැවසුවා. අනතුරුව අනුරාධපුර නගරයේ පිහිටි රන් ආභරණ වෙළෙඳසලක සේප්පු සොරකමට, කෝටි එකහමාරක කප්පම් ගැනීමකට හා මහව දේවාලයේ කොල්ලයකට මාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මාස තුනහමාරක් මා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබාගත්තා. 2016 වසරේ නොවැම්බර් අනුරාධපුරේ පිහිටි ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක සිදුවූ සේප්පු සොරකම් පිළිබඳ නිතර නිතර මගෙන් ප්‍රශ්න කර කරදර කළ නිසා ඊට සම්බන්ධ වූ යාපනය වඩ්ඩුකොට්ටේ පදිංචි ටී. නගුලේස්වරන් මා විසින් සොයා දුන්නා.

ඉන් අනතුරුව මා ඔහු පිළිබඳ අනුරාධපුර අතිරේක උසාවියේ මහෙස්ත්‍රාත් ඉදිරියේදී රහස් ප්‍රකාශයකුත් ලබාදුන්නා. ඉන්පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකොට මාස අටකට පසුව ඔහුට උගන්වා මම මේ නඩුවටත් සම්බන්ධයි කියා අත්අඩංගුවට ගෙන එස්. එස්. බණ්ඩාගේ ගෝලයන් තිදෙනකු සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරයා, සැරයන්වරයා මහව පිහිටි පොලිස් පරීක්ෂකවරයාගේ ඥාති නිවෙසකට රැගෙන ගොස් එල්ලා අසූචි දියකර පොවමින් විවිධ නොයෙක් වද හිංසාවන් පමුණුවමින් ඔවුන්ට අවශ්‍ය පරිදි වීඩියෝවක් සකසා ප්‍රකාශට අස්සන් ලබාගත්තා.

දැන් උඹගේ ගෑනියි දරුවයි අපි භාරයේ ඉන්නේ අපි කියන විදියට නඩුකාරයා ඉදිරියේ ප්‍රකාශයක් දුන්නැත්නම් ගෑනිවයි ලොකු දුවවයි දූෂණය කරලා මෙතැන ඉන්න අනිත් එවුන්ටත් දෙනවා යනුවෙන් පැවසූ නිසා දරුවාට හා බිරියට එසේ කරයි කියා ඇතිවූ බිය නිසා මම නඩුකාරතුමා ඉදිරියේ ප්‍රකාශයක් කරා.

එම ප්‍රකාශය ලබාදුන්නේ දීලූෂ, ඉන්දික හා ජයවර්ධන යන අයවළුන්ගේ තරහාකරුවන් වන නොච්චියාගම පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන සමන් කන්ඩම්බි, එස්.ටී.එෆ්. එකේ අයි.පී. චමින්ද (අනුරාධපුර උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ හිටපු කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක චමින්ද කුමාර) උතුරුමැද භාරව සිටි ඒ. එස්. පී. සමුද්‍රජීව (අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි) යන මහත්වරුන් සමඟ එකතුවී මේ මංකොල්ලය තමන් සිදුකළ බවයි.

එස්. එෆ් . බණ්ඩව මරලා තියෙන්නේ මේ තුන්දෙනා තමයි. ඒ නිසා උන්ගෙන් පළිගන්න ඕන කියලා නඩුකාරතුමාට ප්‍රකාශයක් ලබා දෙන්න කිවුවා. එය සිදුකර ගැනීමට මාව කකුල් දෙකෙන් එල්ලුවා. මගේ කකුලේ ඇටයක් පිපිරුණා. ඊට අමතරව ඉළ ඇටයක් පිපිරුණා. නැවත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව සී. අයි. ඩී. එකේ මහත්වරුන්ගේ කීමට ලොකේෂන් භාරව සිටින අතුල කියන මහත්තයා මාව හිරකරුවන් ඉදිරියේ දණ ගස්සලා යටි පතුල්වලට ගැහුවා.

අනතුරුව ඔහු කියා සිටියේ උඹ අයි. පී. රාජකරුණා මහත්තයා කියන විදියට හිටියේ නැත්නම් උඹවත් මරලා දානවා කියලා තර්ජනය කරා යනුවෙන් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර සිදුවූ අසාධාරණයට සහනයක් ලබාදෙන ලෙස ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon