රනිල් ආණ්ඩුවේ බලය වැඩි කරගන්න ජවිපෙ ඉත්තෙක් කරගෙන

  👤  3908 readers have read this article !
By mawbima 2018-04-25

අධිරාජ්‍ය ගැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකට තනි බලයක් අත්පත්වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණද දායක වෙනවා නම් එයට තමා එකහෙළා විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට වැඩි බලයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ බලය නැති කිරීමට කටයුතු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණද ඉත්තෙක් ලෙස පාවිච්චි කිරීමට එජාපය පෙලඹී ඇතැයිද වාසුදේව නානායක්කාර මහතා පැවැසුවේය. නානායක්කාර මහතා මෙසේ පැවැසුවේ ඊයේ (23දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

සයිටම් ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කරලීමේ ආණ්ඩුවේ පියවර අසාර්ථක වූ නිසා කොතලාවල ආරක්ෂක පීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නටයි ආණ්ඩුව හදන්නේ. අපි කියන්නේ කොතලාවල විද්‍යා පීඨය විශ්වවිද්‍යාලයක් බවට පත්කරන්න. නමුත් ඉසෙඩ් ස්කෝර් එක යටතේ උසස් පෙළ විභාගයෙන් තෝරා ගන්නා ශිෂ්‍යයන්ට අනුපිළිවෙළට ඇතුළත් වන්නට ඉඩ දෙන්න. එය නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වන වැඩපිළිවෙළක් විය යුතුයි.

පසුගියදා ආණ්ඩුව සිංගප්පූරුවත් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කළා. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ලංකාවට ඩොලර් මිලියන ගාණක පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය කාලයේ මැලේසියාව සමඟ ලිහිසි තෙල් සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹී තිබුණා. එම ගිවිසුම පසුගිය කාලේ සංශෝධනයට ලක් කෙරුණා. ඒ අනුව ලංකාවට බරපතළ අවාසියක් වෙනවා කියලා කියන්නේ ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංගයි.

මේ ආණ්ඩුව අපේ රට උකසට තියලා ණයක් ගත්තා රුපියල් කෝටි තුන්ලක්ෂ හැත්තෑපන් දහසක. ණය බර වැඩියි කියමින් ණය ගන්නවා. මේවා ස්වෛරී ඇපකර.
අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය නිසා සුළු ව්‍යාපාරිකයන් විශාල අගතියකට පත්වෙනවා. ඔවුන්ව බදුවලට යට කරලා අද පෙට්රල්, ඩීසල් වැඩි වීමේ ප්‍රවණතාවක් මතුවෙලා තිබෙනවා. එහි මිල වැඩිවෙනවා කියන්නේ සියලු දේවල්වල මිල වැඩිවෙනවා කියන එකයි. විධායක ජනාධිපති ධුරයේ ආන්දෝලනය නිසා මේ සියලු දේවල් අද යට ගිහින්.

අපට පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. එය ප්‍රජාතන්ත්‍රවාදීයි.
සාමූහික බලය හොඳයි. තනි පුද්ගල බලය නරකයි.

රනිල් වික්‍රමසිංහගේ අතට තනි බලයක් යනවාට අපි විරුද්ධයි. පසුගිය දවස්වල සිරිසේනත්, රනිල් වික්‍රමසිංහත් අතර බල පොරයක් තිබුණා. සිරිසේනගේ අනු දැනුම ඇතිවයි රනිල්ට එරෙහි විශ්වාසභංගය ගෙන ආවේ. එය රනිල් වික්‍රමසිංහත් දන්නවා. දැන් ඇවිත් තිබෙන්නේ රනිල්ගේ වාරයයි.

සිංහල ජාතිවාදී කොටස්වලට ඕනේ තනිබලයක් සහිත පාලනයකුයි. තනි පුද්ගලයකුගේ බලයට මේ රට යටත් කරන්න අපි ඉඩදෙන්නේ නැහැ. රනිල්ගේ පැත්තට අපි වැටෙන්නෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දැන් ගෙනත් තිබෙන යෝජනාවලට අනුව ඒකාබද්ධ විපක්ෂය බෙදෙන්නට දෙන්නත් බැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ දැන් ගෙනත් තිබෙන යෝජනාවට විරුද්ධ විය යුතුයි කියන අදහස මම කියනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඉදිරියේදී මේ පිළිබඳව සිතා බලා කටයුතු කරයි.

අද වැඩකරන ජනතාවගේ සටන අධිරාජ්‍යවාදී විරෝධී සටනක් සමඟ පටලැවිලා. එජාපය අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් විදියටයි අද කටයුතු කරන්නේ. මැයි 1 නිවාඩු අවලංගු කිරීම ආණ්ඩුව දැන දැනම කරපු වාමාංශික විරෝධී වැඩක්. මැයි 1 නිවාඩුව අවලංගු කිරීම වැරැදියි. මැයි 1 සහ 7 දින දෙකේම නිවාඩු ලබා දිය යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon