56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය දෙවැනි දිනයේත් නව තරග වාර්තා 10ක්

  👤  3612 readers have read this article !
By mawbima 2018-04-25

ගමිත දෙහිපිටිය

56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (24දා) තවත් නව තරග වාරතා 10ක් බිහිවීම කැපී පෙනුණි.

ඒ අනුව වයස අවුරුදු 20න් පහළ බාලක රිටි පැනීමේ තරග ඉසව්වේදී මීටර් 4.70ක උසක් වාර්තා කළ චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ඒ. පුවිතරන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ අතර වයස අවුරුදු 16න් පහළ බාලිකා උස පැනීමේ තරග ඉසව්ව නියෝජනය කළ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයි. එන්. පල්ලේගම මීටර් 1.71ක උසක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටවූවාය.

ඊයේ පෙරවරුවේ පැවැති වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීමේ අවසන් තරගයේදී මීටර් 38.29ක දුරක් සටහන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට හේෂානි මහේෂිකා සමත් වූවාය. වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 200 අවසන් තරගයේදී කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණු කාවින්දි සංජනා එම තරගය තත්පර 25.80කින් නිම කරමින් ද රාජගිරිය ගේට්වේ පාසලේ ෂෙලින්ඩා ජන්සෙන් වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 200 අවසන් තරගය තත්පර 24.98කින් නිමා කරමින් නව තරගාවලි වාර්තා පිහිටුවූහ.

අකුරම්බඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ අරුණ දර්ෂණ වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 200 අවසන් තරගය තත්පර 21.38කින් නිමා කළ අතර එය එම තරග ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් ලෙසින් සටහන් විණි.

මේ අතර බාලක වයස අවුරුදු 23න් පහළ මීටර් 200 තරග ඉසව්ව නියෝජනය කළ සචිත් නිලක්ෂ පෙරේරා සහ එස්. එම්. සෆාන් එකම කාලයන් වාර්තා කරමින් එම තරග ඉසව්ව තත්පර 21.50කින් නිමා කරමින් නව තරගාවලි වාර්තා පිහිටුවීම කැපීපෙනෙන සිදුවීමකි.

කෙසේ වෙතත් වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 3000 බාධක දිවීම අවසන් තරගයේදීද නව තරගාවලි වාර්තාවක් බිහිවූ අතර වලල එ්. රත්නායක මැදි මහ විදුහලේ මෙන්කි කණගරත්න මිනිත්තු 10යි තත්පර 57.11 කින් එම තරගය නිමා කරමින් ඊට හිමිකම් කීවාය. වයස අවුරුදු 23න් පහළ බාලිකා උස පැනීමේ තරග ඉසව්වේදී පූර්ණිමා ජයමාලි මීටර් 1.80ක උසක් තරණය කරමින් ද නව තරගාවලි වාර්තාවක් පිහිටවූවාය.

මේ අතර ඊයේ වාර්තා වූ ජයග්‍රහණ මෙසේය: වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 1000 - දිල්රුක්ෂි සමරකෝන් (වැලිමඩ ම.ම.වි), වයස අවුරුදු 20න් පහළ බාලිකා දුර පැනීම _ රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), අවුරුදු 18න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම _ අයි. හසන්ති (වලල ඒ. රත්නායක ම.ම.වි.), අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 400 කඩුලු - කාවින්ද්‍යා තත්සරණි (අම්බෙගමුව ම.ම.වි.), අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 _ අමාශා ද සිල්වා (ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය), අවුරුදු 20න් පහළ බාලිකා යගුළිය _ ගයනා ද සිල්වා (මීගමුව ආවේ මරියා කන්‍යාරාමය), අවුරුදු 20න් පහළ බාලක කවපෙත්ත - ළහිරු කිෂාන් (රත්නාලෝක ම.වි. රක්වාන), අවුරුදු 18න් පහළ බාලිකා දුර පැනීම - නෙත්මි මේඝවර්ණ (දෙබරවැව ජාතික පාසල), අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 100 කඩුලු _ පී. ආර්. ගුණතිලක (සුමන බාලිකා, රත්නපුර), අවුරුදු 18න් පහළ බාලක රිටි පැනීම _ එස්. සන්තුෂ් (අරුනෝදය විද්‍යාලය)

ඡායාරූප - සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon